Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports යොවුන් ක්‍රීඩකයෝ යතුරුපැදි කිරුළට පොරබදිති
නරියාකන්ද සුපර් ක්‍රොස්

යොවුන් ක්‍රීඩකයෝ යතුරුපැදි කිරුළට පොරබදිති

editorial - 2024 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වසර 5 කට පසුව යළිත් කරළියට එන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේ යතුරුපැදි ශූරතාව දිනාගැනීම සඳහා යොවුන් ක්‍රීඩකයන් රැසක් පොරබදිද්දී, අවසන් වරට එහි මෝටර් රථ ශූරතාවට හිමිකම් කී අශාන් සිල්වා තවත් වසරක් එම ශූරතාව තමා සන්තකයේ රඳවාගැනීමේ සටනක නිරත වී සිටියි. ත්‍රාසය, භීතිය සහ කුතුහලය කැටිකර ගත් මෙම උද්වේගකර තරගාවලිය මෙරට මෝටර් රථ සහ යතුරුපැදි ක්‍රීඩාලෝලීන්ට අනිද්දා (21 වැනිදා) පෙරවරු 8.30 සිට දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී සියැසින් දැක බලාගැනීමේ අවස්ථාව උදාවනු ඇත. 

අවසන් වරට (2018) පැවැති නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ අශාන් සිල්වා, මේ වසරේදීත් සිය ශූරතාව රැකගැනීම අරමුණින් තරගාවලියට සහභාගි වී සිටියි. එහිදී ඔහුට අභියෝග කරන ක්‍රීඩකයන් අතර උෂාන් පෙරේරා, අරවින්ද ප්‍රේමදාස, ජනක ඩයස් සහ ඉෂ්රාක් වහබ් පෙරමුණේ පසුවෙති. 

එදා මෙදා තුර නරියාකන්ද සුපර් ක්‍රොස් ඉතිහාසයේ වැඩිම වාර සංඛ්‍යාවක් දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයට හිමිකම් කියා ඇති ක්‍රීඩකයා ලෙස අරවින්ද (10 වරක්) හැදින්විය හැකිය. අශාන් මේ දක්වා අවස්ථා 4 කදී (2013, 2015, 2017 සහ 2018) මෙම තරගාවලියේ දක්ෂම මෝටර් රථ රියැදුරා සම්මානය දිනා සිටින අතර උෂාන්, ජනක හෝ ඉෂ්රාක් තවමත් එක් වරක් හෝ එම සම්මානයට හිමිකම් කීමට සමත්ව නැත. 

අරවින්ද පසුගිය කාලවකවානුව තුළ කැපී පෙණුන දස්කම් අතර නොසිටීමත්, ජනක ඩයස් යළිත් තරග බිමට පිවිසෙන්නේ දීර්ඝ කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටීමෙන් පසුව වීමත් මෙවර තරගාවලියේදී අශාන්ට යම් අස්වැසිල්ලක් ගෙන දෙනු ඇත. කෙසේ වුවත් වුවත් ඔවුන් දෙදෙනාම ඕනෑම අවස්ථාවක තමාට අභියෝගයක් එල්ල කළ හැකි ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනකු බව අශාන් තරයේ මතක තබාගත යුතුය.
 
එමෙන්ම උෂාන් සහ ඉෂ්රාක් පසුගිය වසරේ (2023) පැවැති මෝටර් රථ තරගවලදී දැක්වූ සටන්කාමී ක්‍රීඩාශීලීත්වය මෙම තරගාවලියේදීත් දැක්වීමට සමත් වුවහොත්, එයද අශාන්ට සිය ශූරතාව රැකගැනීම සඳහා විශාල බාධකයක් වනු නොඅනුමානය. එබැවින් තමා සතුව පවතින ජාත්‍යන්තර අත්දැකීම් දේශීය තරග බිමට උචිත ආකාරයට යොදා කරගනිමින් උපක්‍රමශීලී ධාවනයක නිරත වීමට අශාන්ට සිදුවනු ඇත. 

පිට පිටම තෙවරක් (2016, 2017 සහ 2018) නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටින ප්‍රබල ක්‍රීඩක ඉෂාන් දසනායක, මේ වන විට විදෙස්ගතව සිටින බැවින් මෙවර තරගාවලියට සහභාගි නොවේ. එබැවින් මෙවර තරගාවලියේ යතුරුපැදි ශූරතාව සෙසු ක්‍රීඩකයන් සඳහා විවෘතව පවතී. 

එම ශූරතාව ඩැහැගැනීමට මාන බලමින් සිටින ක්‍රීඩකයන් අතර ජාක් ගුණවර්ධන ඉදිරියෙන්ම සිටින අතර ඒ සඳහා ඔහුට ශානුක සඳරුවන් සහ ළහිරු ජීවන්ත වැනි ප්‍රවීනයන් මෙන්ම කේසර ගොඩගේ සහ ඩී.එම්.ඩී. කල්හාර වැනි නැඟී එන යොවුන් ක්‍රීඩකයන් සමගද කරට කර තරගයක නිරත වීමට සිදුවනු ඇත. අවසන් වරට පැවැති විජයබාහු මොටෝ ක්‍රොස් තරගාවලියේදී දස්කම් දැක්වීමට ළහිරු සමත් වුවද, ශානුක මෙම තරගාවලියට සහභාගි වන්නේ විදෙස්ගතව සිටීමෙන් පසුවය. 

මෙම වසරේ යතුරුපැදි තරග ආරම්භ කරමින් ඉකුත් මාර්තු මාසයේ පැවැති විජයබාහු මොටෝ ක්‍රොස් තරගාවලියේදී ජාක් තරග වැදුණු ආකරය දුටු අයෙකුට නරියාකන්ද තරගාවලියද ඔහුට පහසුවෙන්ම ජයගත හැකි බවට අනුමාන කළ හැකිය. එහෙත් තමා ඉදිරියේ ඇති අභියෝග සුලුවෙන් තැකීම පරාජයට අතවැනීමක් බව සිහියේ තබාගෙන ජාක් ධාවන පථයට අවතීර්ණ වන්නේ නම් ඔහුට යළිත් වරක් ජයපැන් බීමට අවස්ථාව උදාකරගත හැකිය. 

ඉෂාන්ට අමතරව ගයාන් සඳරුවන්, ඉවෝන් බියාජි ගුරුසිංහ, බුද්දික කසුන් සිල්වා, සමීර ප්‍රේමරත්න සහ මිතුන් ජයසිංක සිගේරා වැනි නම් දැරූ ප්‍රබල ක්‍රීඩකයන් නොමැති වීමේ අඩුව මෙවර තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන්ට තදින්ම දැනෙනු ඇත. එහෙත් ඔවුන්ගේ යුගය නිමාවට පත්වෙද්දී එම හිදැස පිරවීම සඳහා යොවුන් ක්‍රීඩකයන් රැසක් මඟබලමින් සිටිනු දැකීම මෙරට යතුරුපැදි ක්‍රීඩාවේ අනාගතයට සුබවාදී පෙරනිමිත්තක් බව කිව යුතුය.
 
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය එක්ව 28 වැනි වරට සංවිධානය කරන මෙවර තගාවලිය දක්ෂතම මෝටර් රථ රියදුරා තෝරාගනු ලබන ඉසව් 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන ඉසව් 2 ද සමග, මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 12 කින් සමන්විත වේ. ඒ සඳහා සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 275 ක් ඉක්මවන බව සංවිධායකයෝ පවසති. 

 


අදහස් (0)

යොවුන් ක්‍රීඩකයෝ යතුරුපැදි කිරුළට පොරබදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.