Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features වනිඳුගේ කැමැත්ත පිතිකරුවන්ගේ තණතීරුවලට
විස්සයි-20 තරගාවලිය

වනිඳුගේ කැමැත්ත පිතිකරුවන්ගේ තණතීරුවලට

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට..)

ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව, ජයග්‍රාහී ටෙස්ට් තරගයේදී මෙන්ම එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තෝරාගැනීම වූයේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුය. විස්සයි-20 තරගාවලියේදීත් එවැනිම තණතීරු සමගින් ඉදිරියට යාම වනිඳු හසරංගගේත් අභිප්‍රාය වී තිබේ. එහෙත් කණ්ඩායම් සංයුතියේ වෙනසක් නැත. 

පිතිකරුවන් හත් දෙනකුගෙන් දෙදෙනකු තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අතර කණ්ඩායමේ ඉතිරි සිව් දෙනා පන්දු යවන්නෝ වෙති. 

“පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල ක්‍රීඩා කරද්දී පිතිකරුවන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා. එතකොට එයාලා හොඳින් ලකුණු ලබාගන්නවා. ඒ හින්දා මම කැමතියි විස්සයි-20 ක්‍රීඩාවෙදිත් ඒ විදිහටම යන්න” 

“අනෙක මම ඕවර 4 ම පන්දු යවන නිසා අපිට තවත් පන්දු යවන්නකු ඕන වෙනවද නැද්ද කියන එක ගැන නම් තව ටිකක් හිතන්න වෙනවා. ඉස්සරහට ලෝක කුසලාන තරගාවලියකුත් එන නිසා අපි ඒ ගැනත් හිතන්න ඕනා... මොකද, මේ තරග තුනයි, බංග්ලාදේශයේදී පැවැත්වෙන තරග තුනයි ගත්තාම මීළඟ ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපට තියෙන්නේ විස්සයි-20 තරග හයයි” යයි වනිඳු හසරංග අද (16 වැනිදා) සවස දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. 

අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි තැනට ඇද වැටී සිටියද, මහීෂ් තීක්‍ෂණ (2) සහ වනිඳු හසරංග (3) දෙදෙනාම විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදී පළමු පස්දෙනා අතර සිටිති. මේ දෙදෙනා එක්ව දවාගෙන ඇති විස්සයි-20 කඩුලු සංඛ්‍යාව 138 කි. මේ වන විට විස්සයි-20 තරග 61 කදී කඩුලු 98 ක් දවාගෙන සිටින වනිඳු මෙම තරගාවලියේදී 100 වැනි කඩුල්ල බලාපොරොත්තුවෙන් සිටී. 

එම කාසියේම අනෙක් පැත්තේ ඇත්තේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අතරේ ඉදිරියෙන්ම සිටින ඇෆ්ඝනිස්ථානුවන්ගෙන් රෂීඞ් ඛාන් (8) සහ මුජිබුර් රහමන් (16) දෙදෙනාගේම සේවය මෙම තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානුවන්ට නොලැබීමයි. මේ වනවිට ආබාධවලට ලක්ව සිටින ඔවුන් දෙදෙනා එක්ව විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 175 කි. 

කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථානු සහාය පුහුණුකරුවා වන රායිස් අහමඞ්සායි ඒ ගැන කියන්නේ සුබවාදී කතාවකි. 
“රෂීඞ් සහ මුජිබුර් දෙන්නා පළපුරුදු පන්දු යවන්නන් තමයි. ඒත් ඒ දෙන්නා නැති අතරේ මෙතැනින් ඒ වගේ හොඳ කෙනෙක් ඉස්මතු වුණොත් ඒක අපිට හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්” යයි රායිස් අහමඞ්සායි අද සවස කීවේය. 

“මොහොමඞ් ඉෂාක් යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමේත් හිටියා. ඔහු ඉක්මනින් ජාතික කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයෙක්. එයා විතරක් නෙමේ.. අපට හොඳ තරුණ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා” යයි ද ඇෆ්ඝනිස්ථානු සහාය පුහුණුකරුවා කීවේය. 

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අන්තර්ජාතික තරගයක් පැවැත්වෙන්නේ වසර 6 කට පසුවය. මෙහිදී අවසන් වරට පැවැති අන්තර්ජාතික තරගය වන 2018 ඔක්තෝබර් මාසයේදී පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේදී ඔයින් මෝගන්ගේ එංගලන්ත කණ්ඩායම ලකුණු 31 ක ජයක් අත්කර ගත්තේය. 

අන්තර්ජාතික ක්‍රිකට් තරග නැවතත් දඹුල්ලට පැමිණීමේ සතුට සැමරීමටදෝ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා  - ඇෆ්ඝනිස්ථානු තරගයේ ප්‍රවේශපත් දින දෙකකට කලින් සියල්ලම විකිණී අවසන් විය. විකිණී ගිය ප්‍රවේශපත් සංඛ්‍යාව 18,000 ඉක්මවයි. 

පසුගිය කාලයේදී අසාර්ථක වීමේ හේතුව මත එක්දින කණ්ඩායමෙන් හැළී ගිය දසුන් ශානක තවදුරටත් සිය ස්ථානය රඳවාගෙන සිටී. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 26 ක් ලබාගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරවූ දසුන් ශානක, පසුගිය වසර පුරාම විස්සයි-20 තරග වලදී ලකුණු 172.94 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන සිටින්නෙකි. මේ වන විට නායකත්වයේ පීඩනයෙන් මිදී සිටින බැවින්, දසුන්ගෙන් වැඩිපුර යමක් අපේක්‍ෂා ළ හැකිය. එහෙත් ඔහු තුන්ඉරියව් ක්‍රීඩකයකු වන බැවින් ඕවර කිහිපයකින් කණ්ඩායමටෙ දායක වීම අනිවාර්ය අවශ්‍යතාවකි. නැතහොත් ඔහුගේ ස්ථානය අනතුරේ බවද නොකියා නොහැකිය. 

කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීරගේ ස්ථානය බිනුර ප්‍රනාන්දුට පිරිනමා ඇතත් හෙට තරගයේදී වමත් වේග පන්දු යවන්නන් දෙදෙනාම ක්‍රීඩා කරවන්නේද නැද්ද යන්න නැවත වරක් සිතාබලන බව කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය 
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම

ඇෆ්ගනිස්ථාන සංචිතය: 
ඊබ්‍රහිම් සද්‍රාන් (නායක), රහමනුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), මොහොමඞ් ඉෂාක්, හස්රතුල්ලා සසායි, ගුල්බඩින් නයිබ්, මොහොමඞ් නබි, නජිබුල්ලා සද්‍රාන්, අස්මතුල්ලා ඔමාර්සායි, කරීම් ජනාත්, ශරෆුදීන් අෂ්රෆ්, ෆසල්හක් ෆාරුකී, ෆරීඞ් අහමඞ්, නවීන් උල් හක්, නූර් අහමඞ්, වෆාදර් මොමන්ඞ් සහ කයිස් අහමඞ්

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

වනිඳුගේ කැමැත්ත පිතිකරුවන්ගේ තණතීරුවලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.