Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features සිල්වර්වුඩ්ගේ කැමැත්ත එදිරිවාදීකමටමයි
එක්දින තරගාවලිය

සිල්වර්වුඩ්ගේ කැමැත්ත එදිරිවාදීකමටමයි

editorial - 2024 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 2018 නිදහස් කුසලාන තරගාවලියේදී සිදුවූ ‘නයි නැටවීමේ’ සිට 2023 ලෝක කුසලාන තරගාවලියේදී කාලය අවසන් වීමෙන් ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමේ සිද්ධිය දක්වාම ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පවතින්නේ විරසකයකි. නිමාවූ විස්සයි-20 තරගාවලියේ තුන්වැනි තරගයේදීත් නුවන් තුෂාර හමුවේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය තව්හීද් රිදෝයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ගැටුමට ආවේය. ඒ වෙනුවෙන් තරග මුදලින් 15% ක දඩයක් කෑමටද රිදෝයිට සිදුවිය.

විස්සයි-20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සැමරුවේ ‘කාලය ඉක්ම ගිහින්’ යයි අඟවමින් තම තමන්ගේ වමතේ මැණික්කටුව පෙන්වමිනි. 

‘කාලය ඉක්ම ගිහින්’ යයි කියැවෙන ඇඟවීම හෙවත් 9 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බංග්ලාදේශයට කළ සුහද සරදම පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සිත්ගත් එකකි. වසර 146 ක අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේදී පිතිකරුවකු (බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්) කාලය ඉකුත් වීමෙන් දැවී ගියේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදීය. එතැන් සිට නිමාවූ විස්සයි-20 තරගාවලිය දක්වාම දෙපිල අතර එදිරිවාදීකම් පැවතිණ. 

“මේ තියන එදිරිවාදීකම හොඳයි. මොකද ඒකෙන් අපට හොඳ තරගාවලියක් බලාගන්න පුළුවන්” 

“අපි ආවේ හොඳ තරගයක් දෙන්න. මම ඒ දේම නැවතත් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ කණ්ඩායම් දෙකත් ඒ දේම බලාපොරොත්තුවෙන් ඉන්නේ” යයි ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා චිතගොන් නුවරදී ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ. 

කෙසේ වෙතත් එක්දින අන්තර්ජාතික ක්‍රිකට් යනු බංග්ලාදේශීන් වඩාත් හොඳින් කරනු ලබන ක්‍රීඩාවයි. ටෙස්ට් සහ විස්සයි-20 ක්‍රිකට් ලයිස්තු දෙකේදීම ශ්‍රේණිගත කිරීම් අනුව 9 වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශය එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී 8 වැනි ස්ථානයේ සිටී. එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී වඩාත් සාර්ථක දස්කම් පෙන්වමින් සිටි බංග්ලාදේශය වසර 7 ක් සිය මව්බිමේදී අපරාජිතව සිටියේය. එහෙත් ලෝක කුසලාන තරගාවලිය අතේ දුරින් තිබියදී එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය හමුවේ බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරගාවලි දෙකක් පරාජය විය.

කෙසේ වෙතත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ බංග්ලාදේශයට වඩා පියවරක් ඉදිරියෙනි. 
එක්දින තරගාවලියේදී පැතුම් නිස්සංක සහ ජනිත් ලියනගේ දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම පිතිකරු අංශය තවදුරටත් ශක්තිමත් වීමකි. විස්සයි-20 තරගාවලියේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු දිගු ඉනිමක් අබියස සිටින්නෙකි. ඔහුට අවශ්‍ය වන්නේ තවත් එක දිගු ඉනිමක විශ්වාසයයි. එය නිසැක වශයෙන්ම තරගයක ඉරණම වෙනස් කරවනු ඇත.

විස්සයි-20 තරග වලදී දිගින් දිගටම සාර්ථක දස්කම් පෙන්වූ කමිඳු මෙන්ඩිස් එක්දින කණ්ඩායමේත් දොරටුවට තට්ටු කරමින් සිටීම සෙසු පිතිකරුවන් පීඩනයට ඇද දැමීමකි. කමිඳු වැනි පිතිකරුවකුට අවස්ථාවක් දුනහොත් ඔහු එය අතනාරින බව කිහිප වතාවකදීම ඔප්පු කර තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ ලයිස්තුව ප්‍රතිවාදී පිතිකරුවන්ට පමණක් නොව කණ්ඩායම තේරීමේදී තේරීම් කමිටු නිලධාරීන්ටත් හිසරදයක් වී ඇත්තේ කාව එළියෙන් තියා කාව ඇතුළට ගේන්නද යන උහතෝකෝටික ප්‍රශ්නවලට පිළිතුරු නැති බැවිනි. 

බංග්ලාදේශ නායකයා කියන්නේ පිතිකරුවකු වශයෙන් සකිබ් අල් හසන්ගේ අඩුව දැනෙන නමුත් පිතිකරු අනුපිළිවෙල නොවෙනස්ව තබාගැනීම තම අපේක්‍ෂාව බවයි. කෙසේ වෙතත් සත්කාරකයන්ගේ අරමුණ වේග පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්ල කරගැනීමයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ දඟ පන්දු යවන්නන් සිටින නිසාම විස්සයි-20 තරගාවලිය පැවැති සිලාත් පිටියේදී තණකොළ ගහණ තණතීරුවක් සකස් කළ නමුත් තුන්වැනි විස්සයි-20 තරගයේදී එයම ඔවුන්ට පාරා වළල්ලක් විය. 

“2015 ඉඳන් 2022 දක්වාම අපි හොඳින් සෙල්ලම් කළා. 2023 දී අපි පරාජය වුණත් ඉඳහිට ඒක වෙන්න පුළුවන්. මේ අවුරුද්දේදී නැවතත් නැඟී සිටීම අපේ අපේක්‍ෂාවයි” යයි බංග්ලාදේශ එක්දින නායක නජ්මුල් හොසේන් ශන්ටෝ ප්‍රංශ පුවත් සේවයට පැවසීය. 
චිතගොන් නුවර තණතීරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට යෝග්‍ය වන නමුත් පළමු එකදින තරගය දිවා/රාත්‍රී තරගයක් බැවින් පින්නේ බලපෑම එහි තිබෙනු ඇත. ඇරත් මාර්තුව චිතගොන්හි පින්න වැඩි මාසයකි. 2014 ලෝක කුසලාන තරගාවලියේදීත් එය පැහැදිළිවම දැකගත හැකිව තිබිණ. 

බංග්ලාදේශ නායකයා තරගය වෙත හෙළන බැල්ම ද තියුණු එකකි. 

“තමන් පන්දු යවන්නේ මොන වාගේ තත්ත්වයන් වලදීද කියලා හිතලා බලන්න හැම පන්දු යවන්නකුටම සිද්ධ වෙනවා. ඒක අභියෝගයක්”

“එක් එක් පන්දු යවන්නා කොයි තරම් ලකුණු ප්‍රමාණයක් දෙනවාද කියන එක ගැන අපි කරදර වෙන්නේ නෑ. ඒ වෙනුවට අපට ඕනෑ කරන්නේ පන්දු යවන්නන් කණ්ඩායමක් විදිහට දක්වන දක්‍ෂතාවයි” යයි නජ්මුල් හොසේන් ශන්ටෝ ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියේ මොහොමඩ් අසාම් හා පවසා තිබිණ. නජ්මුල්ගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා පිතිකරුවන් සැලකිල්ලට ගතයුතු එකකි. 
තරගාවලියේ දෙවැනි සහ තුන්වැනි එක්දින තරග මේ මස 15 සහ 18 දිනයන්හිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය 
කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුශාන් සහ ළහිරු කුමාර

ඡායාරූප - ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි. 

 


අදහස් (0)

සිල්වර්වුඩ්ගේ කැමැත්ත එදිරිවාදීකමටමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.