Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආසියානු ලොක්කාගෙන් ඩොලර් ලක්ෂ 18 ක මල්ලක්

ආසියානු ලොක්කාගෙන් ඩොලර් ලක්ෂ 18 ක මල්ලක්

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි ආසියානු පාපන්දු සමුළුවේ (ඒ.එෆ්.සී.) සභාපති ෂෙයික් සල්මන් බින් ඉබ්‍රහිම් අල් කලීෆා මහතා ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ඉහළ දැමීමට ප්‍රතිඥා දුන්නේය.

මෙරට තෙදින සංචාරය අවසන් කරමින් අල් කලීෆා මහතා ඊයේ (21) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ ආරාධනයෙන් මෙරටට පැමිණි ආසියානු සමුළු සභාපතිවරයා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ද මුණගැසී සාකච්ඡාවක නිරත විය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ශ්‍රී ලංකාව තහනමට ලක්වූ අවධියේ අත්හිටුවා තිබෙන ඩොලර් ලක්ෂ අටකට ආසන්න වන වාර්ෂික ගෙවීම් ඉතා ඉක්මනින් නිදහස් කර දීමට මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු එකඟ වී තිබේ.

ඒ අතර, ශ්‍රී ලංකාවට වාර්ෂිකව ආසියානු පාපන්දු සමුළුවෙන් ප්‍රදානය කෙරෙන ඩොලර් ලක්ෂ පහක් වන මුදල දෙගුණයක් කර දීම පිළිබඳව ද ඔහු ප්‍රතිඥාවක් ලබා දුන් බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

මෙහිදී, ශ්‍රී ලංකාවේදී අලුතින් ආරම්භ කිරීමට නියමිත වයස 19න් පහළ අන්තර් ලීග් (බාලක) පාපන්දු තරගාවලියේ ආකෘතිය පිළිබඳව ද ජස්වර් උමාර් මහතා ආසියානු පාපන්දු සමුළු සභාපතිවරයාගේ අවධානය යොමු කර තිබේ.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ සෑම ලීගයකින්ම කණ්ඩායම් අටක් බැගින් සහභාගි කරගන්නා අතර, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 25 දෙනකුගේ සංචිතයක් ලියාපදිංචි කෙරේ.

ඒ අනුව, මෙරට යොවුන් පාපන්දු ක්‍රීඩකයන් 11,000ක් තරම් වන පිරිසක් මෙම තරගාවලියට සම්බන්ධ වී ප්‍රතිලාභ අත්කරගන්නා බව ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පැවැසීය.

ආසියානු සමුළුවේ සභාපති අල් කලීෆා මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරය තුළදී පාපන්දු ආයතනය රුපියල් කෝටි 55ක් තරම් වන මූල්‍ය ප්‍රතිපාදන වාසියක් අත්කරගැනීමට සමත්ව සිටියි.

බහරේන් රජ පවුලේ සාමාජිකයකු වන අල් කලීෆා 58 හැවිරිදිය. ඔහු අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

වසර 2013 සිට ආසියානු පාපන්දු සමුළුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අල් කලීෆා මහතා අඛණ්ඩව එම ධුරය දරමින් 2023 දී නැවත ඊට නිතරගයෙන් තේරී පත් වන අතර, 2027 දක්වා ඔහු තවදුරටත් එම ධුරය දරනු ඇත. ඔහුගේ නායකත්වය යටතේ ආසියානු කලාපයේ රටවල් 47ක් ආසියානු පාපන්දු සමුළුවේ සාමාජිකත්වය දරයි.


අදහස් (0)

ආසියානු ලොක්කාගෙන් ඩොලර් ලක්ෂ 18 ක මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.