Last Update  :  2024-05-17 10:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සහාය දිවීමේ කණ්ඩායමට ඇමරිකාවේ දොරටු වැසෙයි

සහාය දිවීමේ කණ්ඩායමට ඇමරිකාවේ දොරටු වැසෙයි

editorial - 2024 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල්  පතිරගේ)

මැයි  මස 4 සහ 5  දිනවල, බහමාස් රාජ්‍යෙය්දී පැවැත්වෙන  ලෝක සහය දිවිමේ  තරගාවලියට සහභාගි වීමේදී  ඇමරිකාව සිය ගුවන් තොටුපොළවල් හරහා ගමන් කිරීමට  ශ්‍රී  ලංකා  සහය දිවිමේ (මීටර් 400 × 4 -පිරිමි) කණ්ඩායමට අවසර  නොදීම නිසා එම  තරග සංචාරය  අත් හැර දැමූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  ආයතනය  පවසයි. ශ්‍රී  ලංකා සහය  දිවිමේ  කණ්ඩායමට ඇමරිකාවට  ඇතුළුවීමේ වීසා නිකුත් කිරීම ශ්‍රී  ලංකාවේ ඇමරිකානු තානාපති  කාර්යාලය  විසින් ප්‍රතික්ෂේප  කරනු ලැබීමෙන් මෙම  තත්ත්වය  උද්ගතව  තිබේ.

ඊට  පැහැදිළි  හේතුවක්   තානාපති  කාර්යාලය ප්‍රකාශ කර නැති අතර  මේ හේතුවෙන්  වීසා ඉල්ලුම් කිරිම සදහා  තැන්පත්  කළ රුපියල්  ලක්ෂ හතරකට  ආසන්න මුදලක්ද (එක් අයෙකුට  ඩොලර් 175 ක් ) ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා  ආයතනයට අහිම්වී තිබේ.

ක්‍රීඩකයන්  පස් දෙනෙකු හා පුහුණුකරුවන්  දෙනෙකු ඒ සදහා  ශ්‍රී  මලල ක්‍රීඩා  ආයතනය  නිර්දේශ  කර  තිබුණි. 

රාජිත  රාජකරුණා, කාලිංග  කුමාරගේ, අරුණ  දර්ශන, පසිදු කොඩිකාර සහ දිනූක දේසාන් එම ක්‍රීඩකයන්  වන අතර පසිඳු  කොඩිකාරගේ පෞද්ගලික  පුහුණුකරු  දමින්ද බණ්ඩාර මහතා මෙම  තරග සංචාරයේදී  කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර තිබුණි.

ඇතිවී තිබෙන තත්වය   පිළිබඳව  ලංකාදීප  කළ කරුණු  විමසීමකදී  අදහස්  දැක්වූ ශ්‍රී  ලංකා  මලල ක්‍රීඩා  ආයතනයේ  ප්‍රධාන  ලේකම්  සමන්  කුමාර  ගුණවර්ධන  මහතා කීවේ තරගාවලිය සෙනසුරාදා (4) ආරම්භ වන බැවින් ඒ සඳහා සහභාගි  වීමට ශ්‍රී  ලංකාවට වෙනත් විකල්පයක් සොයාගැනීමට තරම් කාලයක්  නැති  බවයි. 

බහාමාස් හි තරග ස‍ංවිධායකයන් ගෙන් ශ්‍රී  ලංකාවට නිල වශයෙන්  ආරාධනා ලැබුණේ අප්‍රේල්  8 වැනිදාය. පසුව ඒ  සදහා  ශ්‍රී ලංකාව  සුදානම්  විමේදී මෙරට ඇමරිකානු තානාපති  කාර්යාලය  එක්සත්  ජනපදය හරහා  ගමන් කිරිමට  ශ්‍රී  ල‍‍ංකා  සහය  දිවීමේ  කණ්ඩායමට අවසර නොදෙන බව තහවුරු  කර ඇත්තේ පෙරේදා (30) දිනයේදීය.

මෙම  තරග සංචාරය  අහිමි වීමෙන් ශ්‍රී  ලංකාවට  වූ විශාලතම පාඩුව වන්නේ ජූලි මාසයේදී  පැරිස්  නුවරදී   ආරම්භ  වන ඔලිම්පික්  උළෙල සදහා නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී  ලංකා  මීටර් 400 × 4 (පිරිමි) කණ්ඩායමට  තිබූ තරගකාරී අවස්ථාවක් අහිමිවීමය. කෙසේවුවත් ජුනි  30 වැනිදා  දක්වා ඒ සදහා  අවස්ථාව තවදුරටත්  හිමිව තිබේ.

ශ්‍රී  ලංකාව  ලෝක  සහය  දිවීමේ තරගාවලියකට සහභාගි වීමට සූදානම් වුයේද පළමු වතාවටය. උද්ගතව  ඇති තත්ත්වය  හමුවේ ශ්‍රී  ලංකා සහාය දිවිමේ  කණ්ඩායමේ බහාමාස්  සංචාරය  සදහා  වෙන් කර තිබූ ගුවන්  ප්‍රවේශ පත්‍රද අවලංගු  කර දැමීමට මලල ක්‍රීඩා ආයතනය  කටයුතු  කර තිබේ.

කෙසේ වුවත්  ශ්‍රී  ල‍‍ංකා මීටර් 400 × 4 (පිරිමි ) සහය  දිවිමේ  කණ්ඩායමට ඔලිම්පික්  ක්‍රීඩා උළෙල සඳහා නිර්දේශ  ලබා  ගැනීමේ තවත්  ජාත්‍යන්තර තරග  අවස්ථාවක්  ඉතිරිව තිබේ. ඒ අනුව  බැංකොක්  නුවරදී  මැයි 21 සහ 22 පැවැත්වෙන  ආසියානු  සහාය දිවිමේ  තරගාවලියටද  ශ්‍රී  ලංකාව මෙම  සහය  දිවීමේ  කණ්ඩායම  ඉදිරිපත් කිරිමට සූදානමින්  සිටියි. 
    
වීසා  ප්‍රතික්ෂේප  කිරීම  සම්බන්ධයෙන්  ශ්‍රී  ලංකාවේ ඇමරිකානු තානාපති  කාර්‍යාලයෙන් කළ විමසීම් වලට ප්‍රතිචාර  දක්වමින් පවසා  ඇත්තේ ඒ ගැන සළකා බැලීමක් සදහා මැයි  29 වැනිදා  සම්මුඛ  පරීක්ෂණයකට අවස්ථාවක් ලබා දිය හැකි බවයි.  එහෙත්  එය ප්‍රායෝගික  නොවන බව පවසන  ශ්‍රී  ල‍‍ංකා  මලල  ක්‍රීඩා  ආයතනය  පෙන්වාදී ඇත්තේ  ඒ වන විට  බහාමාස් ලෝක  සහය දිවීමේ  ශූරතා තරගාවලිය නිමාවට පත්ව තිබෙන බැවිණි.


අදහස් (1)

සහාය දිවීමේ කණ්ඩායමට ඇමරිකාවේ දොරටු වැසෙයි
  • Pradeep Saturday, 04 May 2024 08:50 PM

    ඇමෙරිකාව කියන්නේ මහ තිරිසන් රටක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.