Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගිනි රස්නය ඇවිළෙන දවසක්
බංග්ලාදේශ සංචාරය

ගිනි රස්නය ඇවිළෙන දවසක්

editorial - 2024 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තවත් මාස කිහිපයක් තිබේ. එහෙත් ඊට පෙර පැවැත්වෙන අවසන් විස්සයි-20 අන්තර්ජාතික තරගාවලිය විය හැකි ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලිය, බංග්ලාදේශයේ ශිලාත් නුවරදී අද (4 වැනිදා) ආරම්භ වෙයි. දෙපිලේම ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු වන පැතුම් නිස්සංක සහ සකිබ් අල් හසන් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන නමුත්, 2018 නිදහස් කුසලාන තරගාවලියේදී කළ ‘නයි නැටවීමෙන්’ පසුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇත්තේ උණුසුම් තරගකාරීත්වයකි.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටි, ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වූ චන්දික හතුරුසිංහ මහතාව, පරිපාලන ගැටයක් ගසමින් 2018 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් ඇද ගැනීම එදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නර්තනයේ යෙදුණු නාගයා කෝපාවිෂ්ඨ කළ කාරණාව විය. එහෙත් ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා ලෙසින් පැමිණි හතුරුසිංහ මහතා ද, ටික කලකට පසුව ඇතිකරගත් මත ගැටුම් සහ නොහොඳ නෝක්කාඩුකම් වලින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම හැර ගියේය. වර්තමාන බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ද හතුරුසිංහ මහතාම වීමත් දෙපිල අතර පවතින ‘ගිනි රස්නය’ වඩාත් තීව්ර කරන්නකි.

පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන චරිත් අසලංක, ප්‍රශ්නකාරී වාතාවරණයක් හසුරුවා ගැනීමට තරම් සිහිලැල් මනසක් ඇති අයෙකි. ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා සමග වචන හුවමාරුවක පටලැවීම හේතුවෙන් වනිඳු හසරංගට තරග දෙකක අන්තර්ජාතික තහනමක් පනවා තිබේ. එබැවින් පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අසලංක වෙත පැවරී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වන්නේ හසරංගගේ නායකත්වය නොව, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ඔහුගෙන් කණ්ඩායමට ලැබෙන දායකත්වයයි. කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවේ සිටින ‘පාවෙන පිතිකරුවා’ වන හසරංග අංක 4 සිට අංක 7 හෝ 8 දක්වා ඕනෑම ස්ථානයකින් පිටියට පිවිස පන්දු යවන්නන් අන්ද මන්ද කළ හැකි පිතිකරුවෙකි. ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී ලකුණු 102 ක් ලබාගත් හසරංග, තරග තුනේදීම තමන්ගේ ඕවර 12 ලකුණු 74 කට සීමාකර ගත්තේය.

පා දඟ පන්දු යවන්නකු ලෙසින් ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එක්වී සිටින නමුත් වනිඳු හසරංග වෙනුවට ආදේශකයන් සොයාගැනීම උගහටය. කෙසේ වෙතත් පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩායමට එක්වන අවිශ්ක ප්‍රනාන්දුට මෙය කදිම අවස්ථාවකි. මේ වන විට ලකුණු අතර සිටින අවිශ්කට තමන්ගේ ස්ථානය තහවුරුකර ගැනීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවකි.

උණ සහ ඇදුම රෝගය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරු කුසල් පෙරේරාටත් බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වීමට සිදුවිය. කුසල් වෙනුවට ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට එක්වන නිරෝෂන් දික්වැල්ල සෙනසුරාදා බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නිරෝෂන් දික්වැල්ල පසුගිය කාලයේදී පිතිකරුවකු ලෙසින් සාර්ථක නොවුණත්, ඔහු බංග්ලාදේශ සංචාරයට තෝරාගෙන ඇත්තේ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව සතුව සිටින ආරම්භක පිතිකරුවන්ගේ හිඟකම හේතුවෙනි. එබැවින් නැවත ජාතික සංචිතයට පැමිණීමට අවස්ථාවක් ලැබීම දික්වැල්ලගේ වාසනාවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික හිස්වැස්ම පැළැඳි ක්‍රීඩකයන් අතරේ සිටි ඉතාමත් දක්‍ෂ පිතිකරුවකු වන නමුත් නිසි විනයක් නැතිකමත්, තමන්ගේ නිසඟ හැකියාව තත්ත්වාකාරයෙන් වටහාගෙන නොතිබීමත් නිසා දික්වැල්ල ජාතික කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කරගත්තේය. එසේ නොවුණා නම් මේ වන විට ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේදීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට තරම් හැකියාවත් අවස්ථාවත් තිබූ අයෙකි දික්වැල්ල.

“අපි තරුණ ආරම්භක පිතිකරුවෙක් එක්ක මේ සංචාරයට යන්න කැමතියි නමුත් අවාසනාවකට ලසිත් කෲස්පුල්ලේ සහ ෂෙවොන් ඩැනියෙල් දෙන්නාම පසුගිය තරග වලදී කිසිම සාර්ථකත්වයක් පෙන්නලා නැහැ. මේ තත්ත්වය තුළ අපි නායකයා සහ පුහුණුකරු එක්ක කතා කළා. ඔවුන්ගේත් අදහස වුණේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ගැනත් හිතලා, පළපුරුදු පිතිකරුවෙකු සංචිතයට ඇතුළත් කිරීම වඩා හොඳ බවයි” යයි තේරීම් කමිටු සභාපති උපුල් තරංග ඩේලි එෆ්.ටී. පුවත් පතට පවසා තිබිණ.

“විශේෂම දේ තමයි, කවුරු හරි ආබාධයකට මුහුණ දුන්නොත්, අපිට අතිරේක පිතිකරුවෙක් සංචිතයේ ඉන්න ඕන කියන එක. අපට සීමිත ඕවර කාණ්ඩයේ ආරම්භක පිතිකරුවන්ගේ විශාල හිඟයක් තියෙන නිසා නැවත වරක් දික්වැල්ල දිහාවට හැරෙන්න සිද්ධ වුණා” යයි ද උපුල් තරංග ඩේලි එෆ්.ටී. පුවත්පත ට කියා තිබිණ.

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු පසුගිය දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් හමුවී කීවේත් “සිම්බාබ්වේටයි ඇෆ්ඝනිස්ථානෙටයි ගහලා වැඩක් නෑ.. අපි ගහන ක්‍රිකට් එක හරියට ගහන්න ඕනා” කියාය. එය ඇත්ත කතාවකි.

සිම්බාබ්වේ සහ ඇෆ්ඝනිස්ථානය යන රටවල් දෙකටම එරෙහි තරගාවලි දෙකම ජයගත් නමුත් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශ්‍රේණිගත කිරීම් අතර පරතරය ද එක ස්ථානයක් වන බැවින් මෙම තරගාවලියේ ප්‍රතිඵලය මත එම ස්ථාන වෙනස් වීමේ අවස්ථාවක් ද තිබේ.

බංග්ලාදේශ සංචිතයට කැඳවා සිටි දඟ පන්දු යවන්නකු වන අලිස් ඉස්ලාම් බී.පී.එල්. තරගයකදී ඇඟිල්ලක් තුවාල කරගැනීම නිසා ඔහුට විස්සයි-20 තරගාවලියම අහිමි වී තිබේ. කණ්ඩායමේ තවත් දඟ පන්දු යවන්නන් තිදෙනකු සිටින බැවින් අලිස් ඉස්ලාම් වෙනුවට කඩුලු රකින පිතිකරුවකු වන ජකාර් අලි අනික් සංචිතයට කැඳවා තිබේ.

 

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය:
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ

බංග්ලාදේශ විස්සයි-20 සංචිතය :
නජ්මුල් හොසේන් ශන්ටෝ (නායක), ලිටන් දාස්, අනමුල් හක් බිජෝයි, මොහොමඩ් නයිම් ෂෙයික්, තව්හීද් රිදෝයි, සෞම්‍ය සාර්කර්, ශක් මෙහෙදි හසන්, මහමුදුල්ලා, තයිජුල් ඉස්ලාම්, රිෂාඩ් හොසේන්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රෙහෙමාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන් සහ ජකාර් අලි අනික්


අදහස් (0)

ගිනි රස්නය ඇවිළෙන දවසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.