
(දමින්ද විජේසූරිය)
ලබන ඉරිදා (2 වැනිදා) පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකික තරග තීරක මිචෙල් පෙරෙයිරා නම්කර තිබේ. ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකිකයකු තෝරාගනු ලැබ ඇත්තේ රන්ජන් මඩුගල්ලේ සහ වැනේසා ද සිල්වාට දෙදෙනාට පසුවය.
වසර 2022 දී වැනේසාද ද සිල්වා සමගින් අන්තර්ජාතික තරග තීරකවරියන්ගේ මණ්ඩලයට ඇතුළත් වූ මිචෙල් පෙරෙයිරා වසර තුනක් ඇතුළත ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක තීරක ධූරයට උසස්වීමක් ලබාගත්තාය. වසර 2023 දී දකුණු අප්‍රිකාවේදී පැවැති 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී තරග තීරකවරිය ලෙසින් වැනේසා ද සිල්වා කටයුතු කළාය.
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙසින් තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමාලි පෙරේරා නම්කර ඇත. අවසන් තරගයේ ප්‍රධාන විනිසුරුවරියන් ලෙසින් එලොයිස් ෂෙරිඩන් (ඕස්ටේ්‍රලියාව) සහ ජැකලින් විලියම්ස් (බටහිර ඉන්දීය කොදෙව්) පත්කර තිබේ. තුන්වැනි විනිසුරුවරිය ලෙසින් සූ රෙඩ්ෆර්න් මහත්මිය නම්කර ඇත.
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ලබන ඉරිදා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර නවී මුම්බායිහි ඩී.වයි. පතෙල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇත්තේ පළමු වැනි වතාවටය.
දශක දෙකකට පමණ ඉහතදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ මිචෙල් පෙරෙයිරා හිටපු කඩුලු රකින්නියක් වන අතර වමත් පිතිකාරිණියකි. වසර කිහිපයක්ම ජාතික සංචිතයේ සිටි නමුත් ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.