
බටහිර ඉන්දීය කොදෙව් හි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්තේය. ග්‍රෙනඩාවේ පිහිටි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වන ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගයේදී ඊයේ (1 වැනිදා) පැවැති මෙම තරගයේදී චමරි අතපත්තු පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තාවෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ.
තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය වර්ෂාවෙන් සේදී ගිය අතර දෙවැනි තරගය ජයගැනීම නිසා ශ්‍රී ලංකා කාන්තාවෝ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිති.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය. ඉනිමේ 14 වැනි ඕවරය වන විට කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 3 කට ලකුණු 64 ක් ලබා සිටියද, ඩෙනෙන්ද්‍රා ඩොටින් දැවී යාමත් සමගින් ලකුණු 36 ක් ඇතුළත කඩුලු 6 ක් බිඳ වැටිණ. මල්කි මදාරා (16/3) සහ නිලක්ෂිකා ද සිල්වා (20/3) එක්ව අවසන් කඩුලු 6 න් කඩුලු 5 ක් බෙදාහදාගත් අතර කරිෂ්මා රාම්හරක් දැවී ගියේ පන්දු රකින්නියන්ට බාධා කිරීම හේතුවෙනි.
කරිෂ්මා රාම්හරක්, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රකින්නියන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගිය දෙවැනි කොදෙව් ක්‍රීඩිකාවයි. එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ඩිනෙන්ද්‍රා ඩොටින් දැවී ගියේද පන්දු රකින්නියන්ට බාධා කිරීම හේතුවෙනි.
පිළිතුරු සොයා යාමේදී හසිනි පෙරේරා (18) සහ චමරි අතපත්තු එක්ව පන්දු 45 කදී ලකුණු 62 ක් පුවරුවට එක්කළ නමුත් ලකුණු 12 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සිව් දෙනෙක් දැවී ගියහ. ශ්‍රී ලංකා පිලේ 6 වැනි කඩුල්ලත් ලකුණු 91 දී ඇද වැටුණ නමුත් පන්දු 13 කින් ලකුණු 18 ක් ලබාගත් කවීෂා දිල්හාරි තම කණ්ඩායම ගඟෙන් එතෙර කළාය.
තරගාවලියේ තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය අද (3 වැනිදා) පැවැත්වෙයි. මෙම තරගය ජයගතහොත් එක්දින තරගාවලිය මෙන්ම විස්සයි-20 තරගාවලියත් ජයගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවේ.
තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 ක තරගාවලි ජයක් අත්කර ගත්හ.
බටහිර ඉන්දීය කාන්තාවෝ - ඕවර 20 කදී සියලු දෙනා දැවී 101 යි
(හේලි මැතිව්ස් 28, ස්ටෙෆනි ටේලර් 14, ඩෙනන්ද්‍රා ඩොටින් 12, ආලියා ඇලේන් නොදැවී 11, මල්කි මදාරා 16/3, චමරි අතපත්තු 13/2, නිලක්ෂිකා ද සිල්වා 20/3)
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 18.1 කදී කඩුලු 6 ට 102 යි
(හසිනි පෙරේරා 18, චමරි අතපත්තු 39, විශ්මි ගුණරත්න 10, කවීෂා දිල්හාරි නොදැවී 18, කියානා ජෝෂප් 13/2, ඇෆී ෆ්ලෙචර් 16/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.