
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ අද (5 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් එළබෙන ඉරිදා (8 වැනිදා) නවසීලන්තයට එරෙහිව අමහදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
ජයග්‍රහණය සඳහා ලකුණු 254 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 246 ක් පමණි. ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ යොවුන් ක්‍රීඩක ජෙකොබ් බෙතෙල් (105) පන්දු 48 කදී සිය මංගල විස්සයි-20 ජාත්‍යන්තර ශතකය ලබාගත්තද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. අවසන් ඕවරයට ලකුණු 30 ක් අවශ්‍යව තිබීයදී, එහි පළමු පන්දුවේදීම බෙතෙල් දුවද්දී දැවී යෑමකට හසුවීමත් සමග එංගලන්තයේ සියලු බලාපොරොත්තු සුන් වී ගියේය.
ලකුණු 94 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී විල් ජැක්ස් (35) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙතෙල්, ඉන් නොනැවතී සෑම් කරන් (18) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. පන්දු 20 කට මුහුණදුන් ජැක්ස් ලකුණු රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 253 ක් ලබාගත්තේය. විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස්කළ සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ඉන්දීය කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය. මෙවර තරගාවලියේදී ඉන්දියාව ලකුණු 250 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාවද මෙය විය.
කොදෙව් පිලට එරෙහිව පැවැති තීර්ණාත්මක තරගයේදී නොදෙවී ලකුණු 97 ක් රැස්කළ ආරම්භක පිතිකරු සංජු සැම්සන්, මෙම තරගයේදී ඊට නොදෙවනි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 42 කින් ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. ලකුණු 15 ක් ලබා සිටියදී ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේ ලබා දුන් පහසු උඩ පන්දුවක් මිඩ් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි එංගලන්ත නායක හැරී බෲක් අතින් ගිළිහී යෑමත් සමග සැම්සන්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.
ලද අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත් සැම්සන්, දෙවැනි කඩුල්ලට ඉෂාන් කිෂන් (39) සමග එක්ව පන්දු 45 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක්ද, තෙවැනි කඩුල්ලට ශිවම් ඩූබේ (43) සමග එක්ව පන්දු 22 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව උදාකර දුන්නේය. පන්දු 18 කදී වාර්තා වූ කිෂන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 25 කදී වාර්තා වූ ඩූබේගේ ඉනිම හයේ පහර 4 ක් සහ හතරේ පහරකින්ද සමන්විත විය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, තිලක් වර්මා පන්දු 7 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. එහිදී සෑම එංගලන්ත පන්දු යවන්නකුටම ඕවරයකට ලකුණු 10 කට වැඩි ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගැනීමටද ඉන්දීය පිතිතරුවෝ සමත් වූහ.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 253
(සංජු සැම්සන් 89, ඉෂාන් කිෂන් 39, ශිවම් ඩූබේ 43, හර්දීක් පාණ්ඩ්‍යා 27, තිලක් වර්මා 21, විල් ජැක්ස් 40/2, ආදිල් රෂීඩ් 41/2)
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 246
(ජොස් බට්ලර් 25, ජෙකොබ් බෙතෙල් 105, ටොම් බෙතෙල් 17, විල් ජැක්ස් 35, සෑම් කරන් 18, ජොෆ්රා ආචර් නොදැවී 19, හර්දීක් පාණ්ඩ්‍යා 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.