Last Update  :  2026-03-03 16:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානු ක්‍රීඩකයකුට ලක්‍ෂ 50 ක දඩයක්
විස්සයි-20 ලෝක කුසලාන

පාකිස්තානු ක්‍රීඩකයකුට ලක්‍ෂ 50 ක දඩයක්

editorial - 2026 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්තානු කණ්ඩායමේ ක්‍රීඩකයකුට, පාකිස්තානු රුපියල් ලක්‍ෂ 50 ක් බැගින් දඩ නියම කර තිබේ. තනි ක්‍රීඩකයකුට ගෙවීමට සිදුවන මෙම මුදලේ වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 18,000 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්‍ෂ 56 කට ආසන්නය. 

මෙය ක්‍රිකට් ලෝකයේ මෙතෙක් නොවූ විරූ ප්‍රවණතාවකි. ක්‍රීඩකයන්ගේ දස්කම් වෙනුවෙන් දිරි දීමනා ප්‍රදානය කිරීම හැර ක්‍රීඩකයන් අසාර්ථක වූ අවස්ථාවලදී ඔවුන්ට දඩ නියම කළ අවස්ථාවක් මීට පෙර වාර්තා වී නොතිබිණ. එහෙත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මතය වන්නේ දස්කම් ඉහළ යනවිට දිරි දීමනා ගෙවන්නේ නම් දස්කම් පහළ යන විට දඩ මුදල් නියම කිරීමත් සාධාරණ බවයි. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පැවැති සුපිරි 8 වටයේ තරගය ජයගත් නමුත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානු කණ්ඩායමට නොහැකි විය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලියකදී පාකිස්තානු කණ්ඩායම අවසන් පූර්ව වටයෙන් ඉවතට ගියේ පිට පිටම සිව්වැනි වතාවටයි. 

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දඩමුදල නියම කර ඇත්තේ විනය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් නොවන බවත්, එය තනිකරම ක්‍රීඩකයන්ගේ දුර්වල තරග රටාව නිසා නියම කරන ලද දඩයක් බවත් වාර්තා වේ. 

පසුගිය 15 වැනිදා, ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අනතුරුව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම දඩය නියම කිරීමේ තීන්දුව ගන්නා ලදි. එහෙත් එය ප්‍රකාශයට පත් නොකර තබාගත්තේ යම් හෙයකින් පාකිස්තානු කණ්ඩායම ලෝක කුෂලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතහොත් මෙම දඩය අවලංගු කිරීමේ අදහස ද ඇතිවය. 

15 වැනිදා කොළඹදී පැවැති තරගය නැරඹීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති මොෂින් නක්වි මහතා ද පැමිණ සිටියේය. එහෙත් එදා තරගයේදී ඉන්දියානුවන් හමුවේ පීඩනය හසුරුවාගත නොහැකිවීම සහ උපායශීලී අසාරථකවීම් පිළිබඳව මොෂින් නක්වි මහතා ඇතුළු පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් නිලධාරීහු මහත් කෝපයෙන් සිටි බවත් වාර්තා වේ. 

පාකිස්තානු ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු අනුව ‘ඒ’ කාණ්ඩයට කිසිවකු ඇතුළත් නොවේ. 

‘ඒ - බී’ කාණ්ඩයේ ක්‍රීඩකයකුට මාසිකව පාකිස්තානු රුපියල් ලක්‍ෂ 30 ක් සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් පිරිනැමෙන මුදලින් රුපියල් ලක්‍ෂ 15.5 ක් ගෙවනු ලබයි. ‘සී’ කාණ්ඩයේ ක්‍රීඩකයකුට මාසිකව පාකිස්තානු රුපියල් ලක්‍ෂ 10 ක් සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් පිරිනැමෙන මුදලින් රුපියල් ලක්‍ෂ 10 කට වැඩි මුදලක් ගෙවනු ලබයි. ‘ඒ-ඩී’ කාණ්ඩයේ ක්‍රීඩකයකුට මාසිකව රුපියල් 750,000 ක් සමග අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් පිරිනැමෙන මුදලින් රුපියල් 517,000 ක් ගෙවනු ලබයි. මෙම සියලුම ගෙවීම් පාකිස්තානු රුපියල් වලිනි.
 
මේ සියලු ගෙවීම් ස්ථාවර දීමනා වන අතර තරග වලට සහභාගිවීමේදී එක් එක් ක්‍රීඩකයාට තරග මුදල් වෙන වෙනමම ගෙවනු ලැබේ. 

ඉන්දියාවට එරෙහි තරගයේදී අතිශය දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ පාකිස්තානු ක්‍රීඩකයෝ, ලකුණු 61 ක පරාජයක් ලැබූහ. පාකිස්තානු ක්‍රීඩකයන් අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවීමෙන් පසුව දඩය සම්බන්ධයෙන් ආරංචි පැතිර ගිය අතර සඳුදා (2 වැනිදා) සවස පාකිස්තානු ක්‍රිකට් බලධාරීහු ආරංචිය සනාථ කළහ. 

දෙරට අතර පවතින දේශපාලන එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දිය සහ පාකිස්තානු කණ්ඩායම් මුණ ගැසෙන්නේ ආසියානු කුසලාන තරග සහ ලෝක කුසලාන තරග වලදී පමණි. 

වසර 2017 දී එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් තරගයෙන් පසුව, ගතවූ වසර 9 දී ඉන්දියාව හමුවේ එක්දින තරග 6 කට සහභාගි වූ පාකිස්තානු කණ්ඩායම ඒවායින් එකක්වත් ජයගෙන නැත. විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පාකිස්තානුවන් අවසන් වරට ඉන්දීය කණ්ඩායමක් පරාජය කර ඇත්තේ 2022 සැප්තැම්බර් මස 4 වැනිදා ඩුබායි නුවරදී පැවැති ආසියානු කුසලාන තරගයකදීය. එදා මෙදා තුර ඉන්දියානුවන් හමුවේ විස්සයි-20 තරග 6 කට මුහුණ දුන් පාකිස්තානුවෝ ඒ සෑම තරගයක්ම පරාජය වූහ. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේදී පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැති තරගය වර්ෂාවට සේදී යාම නිසා දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවිය. එහෙත් ශ්‍රී ලංකා - නවසීලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග කළ දුර්වල ආකාරය හේතුවෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ ඉහළ ශුද්ධ ලකුණු වේගයක් අත්පත් කරගත්හ. සුපිරි 8 වටයේ තරග අවසානයේදී නවසීලන්තය මෙන්ම පාකිස්තානයත් ප්‍රසාද ලකුණු 3 ක් බැගින් ලබා සිටි නමුත් ශුද්ධ ලකුණු වේගය මත නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල, යම් යම් අවස්ථාවලදී ක්‍රිඩකයන්ට දඬුවම් ලෙසින් දඩ නියම කරන නමුත් ඒ බොහෝ අවස්ථාවලදී දඩ නියම කිරීමට ප්‍රස්තූත සැබෑ හේතුව සඟවා වෙනත් හේතුවක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ක්‍රීඩකයාගේ තරග දිවිය මෙන්ම අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කීර්තිනාමය ආරක්‍ෂාකර ගැනීම එහි යටි අරමුණයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය, තමන් විසින් පනවන ලද දඩය සම්බන්ධයෙන් සැබෑ හේතුව පැහැදිළි කර සිටී. 

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ගේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තදින් සිටින රටකි. ප්‍රධාන පෙළේ තරග වලදී අසාර්ථකවීම් හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන්ට යම් යම් සීමා පනවා තිබේ. 

පසුගිය වසරේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් බලධාරීහු ක්‍රීඩකයන්ට “විරෝධතාවක් නොමැති” ලිපි නිකුත් කිරීම අත්හිටුවන ලදහ. ලෝකයේ ඕනෑම රටක පැවැත්වෙන වාණිජ ක්‍රිකට් තරගාවලි (ත්‍ර්බජයසිැ ක්‍රසජනැඑ) සඳහා සහභාගි වීමේදී එක් එක් ක්‍රීඩකයාගේ මව් රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබෙන ‘විරෝධතාවක් නැත’ යයි සඳහන් ලිපිය අනිවාර්ය අවශ්‍යතාවකි. 

කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබුණු බැවින්, පාකිස්තානු පිලේ ඉදිරි පෙළ ක්‍රීඩකයන්ට, බිග් බෑෂ් තරගාවලියේදී වැඩි අත්දැකීම් ලබාගැනීමට හැකිවන පරිදි, ‘විරෝධතාවක් නැත’ යයි සඳහන් ලිපි නැවතත් නිකුත් කරන ලදි. 

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පනවන ලද දඩ මුදල සියලුම ක්‍රීඩකයන් විසින් ගෙවනු ලැබිය යුතුය. එහෙත් පාකිස්තානු පිලේ සහිබඩ්සා ෆර්හාන් තරගාවලිය අවසන් කළේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අවසන් කළේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. සහිබඩ්සා තරග 6 කදී ලකුණු 383 ක් ලබාගත් අතර විස්සයි-20 තරගාවලියක ශතක දෙකක් ලබාගත් ලෝකයේ පළමු පිතිකරුවා ලෙසින් ද වාර්තා පොතට එක්විය. 


ක්‍රික් ඉන්ෆෝ, ඉන්දියා ටුඩේ සහ ද ‘ස්පෝට්ස්ටෝක්’ ඇතුළු අන්තර්ජාතික වාර්තා ඇසුරිනි 

- සැකසුම : දමින්ද විජේසූරිය


අදහස් (0)

පාකිස්තානු ක්‍රීඩකයකුට ලක්‍ෂ 50 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.