දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා ෆුට්සාල් පාපන්දු තරගාවලියේ අද (25 වැනිදා) පැවැති තරගයකදී ගෝල 5-2 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පළමු අර්ධය අවසානයේ ගෝල 4-0 ක් ලෙස තරගයේ පෙරමුණ ගත් ඉන්දිය කාන්තා කණ්ඩායම, දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් ලබාගත්තේය. දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගෝල 2 ක් ලබාගැනීමට සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති පරතරය අනුව තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට හිමිවිය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශානු පාස්කරන් (22 වැනි විනාඩියේදී) සහ ගෞරි සුරෙන්තිරන් (28 වැනි විනාඩියේදී) ගෝල ලබාගත්හ. ගෝලය ලබාගැනීමෙන් විනාඩි 5 කට පසුව ගෞරි, විනිසුරුගේ කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගිය අතර ඉන්දීය ක්‍රීඩිකාවන් වූ රාධිකා පටේල්, කුෂ්බු සරෝජ් සහ ආර්යා මෝරේද එහිදී කහ කාඩ්පත් ලැබූහ.
මින් පෙර පැවැති තරගවලදී නේපාල කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පාකිස්තාන කාත්නා කණ්ඩායම හමුවේ ගෝල 3-2 ක් ලෙසද, භූතාන කාන්තා කණ්ඩායම හමුවේ ගෝල 5-1 ක් ලෙසත් පරාජයට පත් විය. ඔවුන්ට ගෝල 7-6 ක් ලෙස ජයගත හැකි වූයේ මාලදිවයිනට එරෙහිව පැවැති තරගය පමණි.
මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්විණ. තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටිමින් එහි ශූරියන් බවට පත්වීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ (ලකුණු 16) සමත් වූහ. ඉන්දීය කාන්තා කණ්ඩායම (ලකුණු 12) එහි අනු ශූරතාව හිමිකරගත් අතර ලකුණු 4 ක් ලබාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ 6 වැනි ස්ථානයට පත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.