Last Update  :  2026-03-03 16:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය ඉතිහාසය වෙනස් කිරීමේ වෑයමක
විස්සයි-20 ලෝක කුසලාන

නවසීලන්තය ඉතිහාසය වෙනස් කිරීමේ වෑයමක

editorial - 2026 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද)
 
විස්සයි-20 ලෝක කුසලාන තරග 5 කදීම දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්ව සිටින නවසීලන්තය, මෙවර (2026) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් හෙට (4 වැනිදා) කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. 
 
සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ පළමු කාණ්ඩයේ පෙරමුණ ගනිමින් දකුණු අප්‍රිකාව මෙවර අවසන් පූර්ව වටයට පිවිසි අතර නවසීලන්තය අවසන් පූර්ව වටයට පිවිසියේ දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වෙමිනි. මෙවර තරගාවලිය තුළ මේ දක්වාම අපරාජිතව සිටින එකම කණ්ඩායම දකුණු අප්‍රිකාව වන අතර නවසීලන්තය සහභාගි වූ තරග 7 න් 2 කදී පරාජයට පත්විය. 
 
‘ඩී’ කාණ්ඩය යටතේ මෙවර තරගාවලියට එක්වූ දකුණු අප්‍රිකාව මූලික වටයේදී නවසීලන්තය, ඇෆ්ඝනිස්ථානය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කළ අතර අතර සුපිරි 8 දෙනාගේ වටයේදී ඉන්දියාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් සිය අපරාජිත බව රැකගැනීමට සමත් විය. 
 
මූලික වටයේදී ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණු නවසීලන්තය එහිදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්විය. කෙසේ වුවත් මූලික වටයේ සෙසු තරගවලදී ඇෆ්ඝනිස්ථානය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය පරාජය කළ නවසීලන්තය, සුපිරි 8 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය පරාජය කිරීමට සමත් විය. එහිදී ඔවුන් පරාජයට පත්වූයේ එංගලන්තය හමුවේ පමණි. 
 
දකුණු අප්‍රිකාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති 5 වැනි අවස්ථාව මෙය වන අතර නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති සිව්වැනි අවස්ථාව මෙය වේ. දෙපිලම ඉන් එක් අවස්ථාවකදී බැගින් අවසන් මහ තරගයට පිවිසීමට අවස්ථාව උදාකර ගෙන ඇති නමුත් දකුණු අප්‍රිකාවට 2024 වසරේදීත්, නවසීලන්තයට 2021 වසරේදීත් අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුව ඇත.  
 
මේ දක්වා මෙම කණ්ඩායම් දෙක අතර විස්සයි-20 ජාත්‍යන්තර තරග 19 ක් පවත්වා ඇති අතර ඉන් 12 ක ජය දකුණු අප්‍රිකාවටත්, 7 ක ජය නවසීලන්තයටත් හිමිව තිබේ. එම තරග 19 න් 5 ක් විස්සයි-20 ලෝක කුසලාන තරග වන අතර 2007, 2009, 2010, 2014 සහ 2026 යන වසරවලදී පවත්වා ඇති එම තරග 5 දීම නවසීලන්ත පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබේ. 
 
තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් 10 දෙනා අතර දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙනෙක් සිටින අතර වැඩිම කඩුලු ලාභීන් 10 දෙනා අතර දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් තිදෙනෙක් සිටිති. එහෙත් එම ලැයිස්තු දෙකට ඇතුළත්ව සිටින්නේ එක් නවසීලන්ත ක්‍රීඩකයකු පමණි. එබැවින් ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතා අතින් ගත්කළ නවසීලන්තයට වඩා දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටින බව පෙනී යයි. 
 
වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථනයේ පසුවන දකුණු අප්‍රිකානු නායක ඒඩ්න් මාක්‍රම් තරග 7 කදී අර්ධ ශතක 3 ක් ලකුණු 268 ක් ලබා සිටින අතර එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසුවන රයන් රිකෙල්ටන් තරග 7 කදී ලකුණු 228 ක් ලබා සිටින්නේ අර්ධ ශතකයක් සමගිනි. එහි 10 වැනි ස්ථානයේ පසුවන නවලීසන්තයේ ටිම් සෙයිෆට් තරග 7 කදී අර්ධ ශතක 2 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 216 කි. 
 
එබැවින් මෙම තරගයේදී කල් වේලා ඇතිව මාක්‍රම්ගේ සහ රිකෙල්ටන්ගේ කඩුලු දවාගැනීම සඳහා නවසීලන්ත පන්දු යවන්නන්ද, සෙයිෆට්ගේ කඩුල්ල දවාගැනීම සඳහා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ද විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
 
පන්දු යැවීමේ බළ ඇණි දෙස බැලීමේදී දකුණු අප්‍රිකාවේ ලුංග් න්ගිඩි කඩුලු 12 ක්ද, කොබින් බොස්ච් කඩුලු 11 ක්ද, මාකෝ ජැන්සන් කඩුලු 11 ක්ද දවාගිනිමින් පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනි, 5 වැනි සහ 8 වැනි ස්ථානවල රැදී සිටිති. 
 
 
දකුණු අප්‍රිකානු සංචිතය  
ඒඩ්න් මාක්‍රම් (නායක), ක්වින්ටින් ඩි’කොක්, ඩෙවෝල්ඩ් බ්‍රේවිස්, ඩේවිඩ් මිලර්, මාකෝ ජැන්සන්, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා, ක්වේනා මපාකා, ලුංගි න්ගිඩි, ජේසන් ස්මිත්, ජෝජ් ලින්ඩේ, කෝබින් බොස්ච්, ඇනිරික් නොකියා, ටි්‍රස්ටන් ස්ටබ්ස් සහ රයන් රිකෙල්ටන්  
 
නවසීලන්ත සංචිතය 
මිචෙල් සෑන්ට්නර් (නායක), ෆින් ඇලන්, මාක් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ජෙකොබ් ඩෆී, ලොකී ෆර්ගසන්, මැතිව් හෙන්රි, ඩර්ලි මිචෙල්, ජේම්ස් නීෂම්, ග්ලේන් පිලිප්ස්, රචින් රවින්ද්‍ර, ටිම් සෙයිෆට්, ඉෂ් සෝධි, කයිල් ජැමීසන් සහ කෝල් මැකොන්චි 

අදහස් (0)

නවසීලන්තය ඉතිහාසය වෙනස් කිරීමේ වෑයමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.