
සුගන්ධිකා කුමාරි (32/2) සහ ඉනෝකා රණවීර (16/2) දෙදෙනාගේ පන්දු යැවීමත් හසිනි පෙරේරාගේ අර්ධ ශතකයක් නිසා පහසුවෙන්ම කොදෙව් කාන්තාවන් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ග්‍රෙනඩාවේ ශාන්ත ජෝර්ජ් නුවරදී ඊයේ (3 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී කඩුලු 9 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම ලකුණු 119 කට සීමා කෙරිණ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලු 1 කට ලකුණු 121 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-0 ක් ලෙසින් විස්සයි-20 තරගාවලිය ජයගත්තේ පළමු තරගය වර්ෂාවට සේදී ගිය බැවිනි.
කාසියේ වාසිය දිනාගත් නායිකා චමරි අතපත්තු කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය. තුන්වැනි ඕවරයේදීම පන්දුව අතට ගත් සුගන්ධිකා කුමාරි සිය තුන්වැනි පන්දුවේදීම කඩුල්ලක් දවාගනිමින් වැඩ ඇල්ලුවාය. පස්වැනි ඕවරයේදීම ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳ වැටුණු අතර පිතිකරු ලයිස්තුවේ 6 දෙනාගෙන් තිදෙනකු, ඉනිමේ ප්‍රවේශය නිමාවටත් පෙර දැවීයාම හේතුවෙන් කොදෙව් කාන්තාවෝ අමාරුවේ වැටුණහ.
එතැනින් තරගයේ පාලනය අතට ගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියෝ, ලකුණු 61 කට කඩුලු 5 ක් බිම දමාගත්හ. ස්ටෙෆනි ටේලර් සහ ඩිනෙන්ද්‍රා ඩොටින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් දෙදෙනාම ලකුණු 02 ක් ඇතුළත දැවී ගියහ. ඉනිමේ ප්‍රවේශය නිමා වීමෙන් පසුව යැවුණු ඕවර 10 දී කොදෙව් ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 32 කි.
18 වැනි ඕවරය නිමාවේදී ලකුණු සංඛ්‍යාව කියැවුණේ කඩුලු 5 ට 83 ක් ලෙසිනි. වහාම ක්‍රියාත්මක වූ චිනෙල් හෙන්රි පන්දු 15 කින් ලකුණු 32 ක් ලබාගැනීම නිසා අවසන් ඕවර දෙකේදී කොදෙව් කාන්තා පිලට ලකුණු 36 ක් එකතු විය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ චමරි අතපත්තු සුපුරුදු වේගයෙන් ලකුණු කරා ගියාය. ඉනිමේ ප්‍රවේශය (පළමු ඕවර 6) නිමාවේදී කිසිවකු නොදැවී ලකුණු 48 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායිකා අතපත්තුගෙන් ලැබුණේ කදිම අඩිතාලමකි. හතරේ පහර 5 කින් සමන්විත චමරි අතපත්තුගේ ලකුණු 32 පන්දු 22 කින් පැමිණියේය. අතපත්තු දැවී ගියත් සිය වගකීම නොපිරිහෙලා ඉටුකළ හසිනි පෙරේරා පන්දු 59 කින් නොදැවී ලකුණු 52 ක් ලබාගෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියාය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි, පන්දුවට පහර දීමේ අවස්ථාව එකිනෙකා අතර හුවමාරු කරගනිමින් කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවැති එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 ක තරගාවලි ජයක් අත්කර ගත්හ.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 5 ට 119 යි
(ස්ටෙෆනි ටේලර් 24, ඩිනෙන්ද්‍රා ඩොටින් 28, චිනෙල් හෙන්රි නොදැවී 32, සුගන්ධිකා කුමාරි 32/2, ඉනෝකා රණවීර 16/2)
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 17.4 කදී කඩුලු 1 ක් දැවී 121 යි
(හසිනි පෙරේරා නොදැවී 52, චමරි අතපත්තු 32, ඉමේෂා දුලානි නොදැවී 34)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.