Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි

මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි

editorial - 2021 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේදී පැවැති 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී අංක 4 ස්ථානයේ පන්දුවට පහරදුන් මහේල ජයවර්ධනට, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ‍2010 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවූයේ ඒ වන විට සනත් ජයසූරිය ලකුණු අතර නොසිටි බැවිනි.

  වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය
   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය
   වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට
   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි
   ඩිල් ස්කූප් පහරේ උපත
  හේරත් වමතින් නවසීලන්තයම කරකවයි

තමා ආරම්භක පිතිකරුවකු කරවීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය ගත් තීරණයට උපරිම සාධාරණයක් ඉටුකළ මහේල, එම තරගාවලියේ මූලික වටයේ තරග දෙකේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 81 ක්ද, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 100 ක්ද ලබාගත්තේය. එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු ලබාගත් ශතකය ශ්‍රී ලංකා පිතිකරුවකු විස්සයි20 තරගයකදී ලබාගත් පළමු ශතකයද විය.

දකුණු අප්‍රිකාවේදී පැවැති 2007 ‍ලෝක කුසලාන තරගාවලියේ සිට බංග්ලාදේශයේදී පැවැති 2014 ලෝක කුසලාන තරගාවලිය දක්වා විස්සයි20 ලෝක කුසලාන තරගාවලි 5 ක තරග 31 කට ක්‍රීඩා කළ මහේල, ඒවායේදී ලබාගත් එකම ශතකයද එය විය. කෙසේ වුවත් එම තරග 31 තුළදී අර්ධ ශතක 6 ක්ද සමග ලකුණු 1016 ක් රැස්කරමින් එදා‍ මෙදා තුර විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තාවක් පිහිටුවීමටද මහේලට හැකි විය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලි 6 කට බැගින් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් සහ තිලකරත්න ඩිල්ෂාන් පිළිවෙලින් ලකුණු 920 ක් සහ 897 ක් රැස්කරමින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටිති. ‍එහිදී ගේල් ලෝක කුසලාන ශතක 2 කට සහ අර්ධ ශතක 7 කට හිමිකම් කී අතර ඩිල්ෂාන් ලෝක කුසලාන අර්ධ ශතක 6 කට හිමිකම් කියයි.

මහේලගේ ශතකය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයකු ලබාගත් තෙවැනි ශතකය වූ අතර ඔහුට පෙර ලෝක කුසලාන ශතක ලාභීන් බවට පත්ව සිටියේ ක්‍රිස් ගේල් (117) සහ සුරේෂ් රයිනා (101) පමණි. එහි විශේෂත්වය වූයේ රයිනා ශතකය ලබාගත් දිනට (මැයි 2) පසුදින (මැයි 3) මහේල සිය ශතකය වාර්තා කිරීමය. මහේලගෙන් පසුව තවත් ක්‍රීඩකයන් 5 දෙනෙක් ලෝක කුසලාන තරගවලදී ශතක ලබාගත් අතර ඊට ගේල්ගේ නම යළිත් වරක් ඇතුළත් විය.

මූලික වටයේ පළමු තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු 2 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා සිම්බාව්වේ කණ්ඩායමට එරෙහිව පැවැති මූලික වටයේ දෙවැනි තරගය ජය ගැනීම අනිවාර්ය විය. එහිදී කාසියේ වාසිය දිනූ කුමාර් සංගක්කාර පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් සිම්බා‍බ්වේ කණ්ඩායම පීඩනයට පත් කිරීමේ බලාපොරොත්තුවෙනි.  

 සංගක්කාරගේ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් ‍ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ මහේල, පළමු ඕවරයේ සිටම ආක්‍රමණය ආරම්භ කළේය. පළමු ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක් රැස්කළ ඔහු, දෙවැනි ඕවරයේ අවසන් පන්දුවද හතරේ සීමාවට ඉහළින් යැව්වේය. තෙවැනි ඕරයේ පළමු පන්දුවේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 2 කට දැවී ගියද, මහේලගේ පිත්ත දිගින් දිගටම ක්‍රියාත්මක විය.

එහි ප්‍රතිඵලය වූයේ 8 වැනි ඕවරය අවසන් වන විට ඔහු පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග සිය අර්ධ ශතය සම්පූර්ණ කිරීමය. ඉන් නොනැවතුණ මහේල, සිම්බාබ්වේ පන්දු යවන්නන්ට එළව එළවා පහරදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව අවිවේකී කළේය. 8 වැනි ඕවරයේදී සිවුවැනි පන්දුවේදී තිසර ලකුණු 23 කට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 80 ක් ලෙස සටහන් විය. එහෙත් ඉන් අනතුරුව පිටියට පිවිසි සංගක්කාරට (3), දිනේෂ් චන්දිමාල්ටද (9) මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ටද (4) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නොහැකි විය.

කෙසේ වුවත් කණ්ඩයමේ බර සිය කර මතට පටවාගත් මහේල, සෙසු පිතිකරුවන් දැවී යද්දී එක් අන්තයක් රැගෙන කෙමෙන් කෙමෙන් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළේය. රේ ප්‍රින්ස් යැවූ 19 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ග්‍රේම් ක්‍රීමර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 64 කට මුහුණදී සිටි මහේල, හයේ පහර 4 කින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම සරසා තිබිණ. ඔහුගේ ශතකය හේතුවෙන් ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 173 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 5 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 29 ක් පමණි. ඩක්වත් ලුවිස් න්‍යායට‍ අනුව ඒ වන විට තරගය ජයගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 44 ක් ලබාගත යුතුව තිබූ බැවින් ශ්‍රී ලංකාවට එම තරගයෙන් ලකුණු 14 ක ජයක් හිමිවිය. ලබාගත් විශිෂ්ඨ ශතතය හේතුවෙන් මහේල තරගායේ වීරයා ලෙස සම්මාන ලැබීය.


ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 173
(මහේල ජයවර්ධන 100, තිසර පෙරේරා 23, චාමර කපුගෙදර 13, රේ ප්‍රින්ස් 31/2, ග්‍රේ ලැම්බ් 34/2)

 සිම්බාබ්වේ - ඕවරර 5 කදී කඩුල්ලක් දැවී 29
(ටටෙන්ඩ ටයිබු නොදැවී 12)

 සැකසුම - ශානුක අරවින්ද


අදහස් (0)

මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.