
අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 96 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව විස්සයි-20 ලෝක ශූරයන් බවට පත්වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2007 සහ 2024 යන වසරවලදීද ඔවුන් ලෝක ශූරයන් බවට පත්ව තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිටම දෙවරක් ලෝක ශූරයන් බවට පත්වූ එකම කණ්ඩාම මෙන්ම සත්කාරකත්වය දරමින් ලෝක ශූරයන් බවට පත්වූ එකම කණ්ඩායම බවටද ඉන්දියාව පත් විය. 2007 වසරේදී මහේන්ද්‍ර සිං දෝනිගේද, 2024 වසරේදී රෝහිත් ශර්මාගේද නායකත්වයන් යටතේ ලෝක ශූරයන් බවට පත්වූ ඉන්දියාව, මෙවර ලෝක ශූරයන් බවට පත් වූයේ සූර්යකුමාර් යාදව්ගේ නායකත්වය යටතේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ඉනිමෙන් අඩක් පමණ එක් අන්තයක් රැකගෙන පන්දුවට පහර දුන් ආරම්භක පිතිකරු ටිම් සෙයිෆට්, නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 26 කදී ලකුණු 52 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගිනි.
නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා ඕවර 4 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. අක්සර් පටේල් කඩුලු 3 ක්ද, අභිෂේක් ශර්මා, හර්දීක් පාණ්ඩ්‍යා සහ වරුණ් චක්‍රවර්ති කඩුල්ල බැගින්ද දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා බුම්රාට අනගි සහයක් දුන්හ.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක මිචෙල් සෑන්ට්නර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 255 ක් ලබාගත්තේය. විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ඉන්දීය කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය විය. මෙවර තරගාවලියේදී ඉන්දියාව ලකුණු 250 සීමාව ඉක්මවා ගිය තෙවැනි අවස්ථාව ලෙසද මෙය සටහන් විය.
පිට පිටම තෙවැනි වරටත් ලකුණු 80 සීමාව ඉක්මවා ගිය ආරම්භක පිතිකරු සංජු සැම්සන්, පන්දු 46 කින් ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. අභිෂේක් ශර්මා (52) සමග එක්ව පළමු කඩුල්ලට පන්දු 43 කදී ලකුණු 98 ක් එක්කළ සැම්සන්, ඉන් නොනැවතී, ඉෂාන් කිෂන් (54) සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 48 කදී ලකුණු 105 ක්ද එක්කරමින් සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නේය.
එහිදී පන්දු 21 කට මුහුණදුන් අභිෂේක් හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 25 කදී වාර්තා වූ ඉෂාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 8 කට මුහුණදුන් ශිවම් ඩූබේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 255
(සංජු සැම්සන් 89, අභිෂේක් ශර්මා 52, ඉෂාන් කිෂන් 54, හර්දීක් පාණ්ඩ්‍යා 18, ශිවම් ඩූබේ නොදැවී 26, ජේම්ස් නීෂම් 46/3)
නවසීලන්තය - ඕවර 19 කදී සියලු දෙනා දැවී 159
(ටිම් සෙයිෆට් 52, ඩර්ලි මිචෙල් 17, මිචෙල් සෑන්ට්නර් 43, ජස්ප්‍රීට් බුම්රා 15/4, අක්සර් පටේල් 27/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.