
(ශානුක අරවින්ද)
එළබෙන අප්‍රේල් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවකු වන ගැරී කර්ස්ටන් මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත්කිරිම සිදුකර තිබේ.
මින් පෙර 2008 වසරේ සිට 2011 වසර දක්වා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කර්ස්ටන් මහතා, 2011 වසරේ සිට 2013 වසර දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඉන්දියාව 2011 වසරේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් එක්දින ලෝක කුසලානය දිනාගත්තේද කර්ස්ටන් මහතාගේ පුහුණුකාරීත්වය යටතේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති 3 හිම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට සමත් වූයේද කර්ස්ටන් මහතා පුහුණුකාරීත්වය දැරූ කාල සීමාව තුළදීය. මෙවර (2026) විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී නැමීබියා කණ්ඩායමේ උපදේශකවරයකු ලෙසද කර්ස්ටන් මහතා කටයුතු කළේය.
වසර 1993 දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකරගත් කර්ස්ටන් මහතා, 2004 දක්වා කාල සීමාව තුළ ටෙස්ට් තරග 101 කදී සහ එක්දින තරග 185 කදී ලකුණු 14,087 ක් රැස්කිරීමට සමත්ව ඇත. ඊට ටෙස්ට් ශතක 21 ක් සහ එක්දින ශතක 13 ක් ඇතුළත්ව තිබේ.
කර්ස්ටන් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වට පත්ව ඇත්තේ 2028 වසරේ අප්‍රේල් මස 14 වැනිදා දක්වා වන වසර 2 ක කොන්ත්‍රාතුවකට යටත්වය. 2027 වසරේ දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම ඔහුගේ ප්‍රධානතම කාර්යය වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.