
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ කඩා වැටීම වසර 2014 සිට සිදුවන්නක් බවත් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සදහා මැදිහත් වීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
කොළඹදී ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසුම්වලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සදහා අන්තර් ජාතික ක්‍රිකට් සභාව සමග මේ වන විටත් ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
ඊට ජනාධිපතිවරයා සෘජුව මැදිහත්ව සිටින බවත් කෙසේවූවත් ඒ සඳහා ඉක්මන් ගමනක් යාමේ අවශ්‍යතාවක් නැති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තහනමට ලක් කර නොගනිමින් ඒ සදහා අවශ්‍ය වැඩ පිළිවෙළකට යාමට රජයක් ලෙස මැදිහත්වීම් ලබා දෙන බවත් ඔහු එහිදී පැවැසීය.
ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් මෙසේද පැවැසීය.
” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම වසර 2014 ඉදලාම අපි දැක්කා.ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි.ලංකාවේ මිනිසුන්ගේ ජාන වලට බද්ධ වෙන තරම් මේ රටේ ක්‍රිකට් විනෝදය සපයන ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත් වෙලා තිබෙනවා. විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියේදී අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණත් එතනදී යම් කිසි දුරකට ශ්‍රී ලංකා කණ්ඩායම ගියා කියලා පේනවා.
ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නගන්න අදහස් දෙන්න කියලා අපි ඔය සමාජ මාධ්‍ය ජාලා ආදියේ කරුණු ඉදිරිපත් කරන අයට ආරාධනා කරනවා.ඒත් ක්‍රීඩකයන්ට සමාජ ජාලා ඔස්සේ අපවාද කර ඔවුන් කඩා නොවට්ටන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.”
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටුවකට පැවැරීමේ සූදානමක් පවතින්නේද යන්න පිළිබදව මාධ්‍යවේදීන් එහිදී කළ විමසුමට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසුවේ එවැනි තීරණයකට මෙතෙක් පැමිණ නැති බවත් එම සියලු කාරණා සාකච්ඡා මට්ටමේ පවතින බවයි.
ඒ අනුව රජයක් ලෙස රටේ ක්‍රිකට් ප්‍රශ්නය විසදීමට සෘජු මැදිහත්වීමක් ආසන්නයේදීම ලබා දෙන බවත් එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.