
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැති දකුණු ආසියානු ෆුට්සාල් පාපන්දු තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී ගෝල 5-2 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට මාලදිවයින සමත් විය. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ 5 වැනි පරාජය මෙය විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ මාලදිවයින් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 3 ක් වාර්තා කරමින් තරගයේ ජය තමන් සතුකරගත්හ. දෙවැනි අර්ධයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ එක් ගෝලයක් පමණි. මොහොමඩ් තිල්හාම් සහ මොහොමඩ් ෆයිසර් එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල ලබාගත්හ.
තරගයේ 12 වැනි විනාඩියේදී මාලදිවයින වෙනුවෙන් ගෝලයක් ලබාගත් මොහොමඩ් ඉම්රාන් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආ නමුත්, 17 වැනි විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් මොහොමඩ් තිල්හාම් ගෝල 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත් කළේය. එහෙත් 20 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළ හුසයිෆත් රෂීඩ් ගෝල 2-1 ක් ලෙස පළමු අර්ධය නිමා කිරීමට ඉන්දියාවට අවස්ථාව උදාකර දුන්නේය.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 26 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් මොහොමඩ් ෆයිසර් නැවතත් ගෝල 2-2 ක් ලෙස තරගය සම කළේය. එහෙත් 29 වැනි විනාඩයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මොහොමඩ් ෆයිසාල් තම කණ්ඩායමේ දැල වෙතම පන්දුව යොමුකිරිම හේතුවෙන් මාලදිවයිනට (ඕන්) ගෝලයක් හිමිවිය. 34 වැනි සහ 36 වැනි විනාඩිවලදී ගෝල වාර්තා කළ හුසේන් සුහල් සහ මොහොමඩ් ඉම්රාන් ගෝල පරතරය වැඩි කරමින් මාලදිවයින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මොහොමඩ් ෆයිසාල් 10 වැනි විනාඩියේදීද, මාලදිවයින් ක්‍රීඩක හුසේන් ශරීෆ් 30 වැනි විනාඩියේදීද නීති විරෝධී ක්‍රීඩා විලාශයන් හේතුවෙන් විනිසුරුගේ අවවාද සමග කහ කාඩ්පත් ලැබූ අතර මාලදිවයින් ක්‍රීඩක සයිධාන් අහමඩ් 37 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය.
මෙම තරගාවලියේ මින් පෙර සහභාගි වූ තරගවලදී භූතානය සමග ගෝල 3-3 ක් ලෙස සමවූ ශ්‍රී ලංකාව, නේපාලය හමුවේ ගෝල 2-1 ක් ලෙසත්, පාකිස්තානයට හමුවේ ගෝල 5-2 ක් ලෙසත්, බංග්ලාදේශය හමුවේ ගෝල 5-1 ක් ලෙසත්, ඉන්දියාව හමුවේ ගෝල 4-1 ක් ලෙසත් පරාජයට පත් විය.
මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 සහභාගි වූ මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්විණ. තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටි මාලදිවයින (ලකුණු 20) එහි ශූරයන් බවට පත් වූ අතර තරගාවලිය පුරා එක් ලකුණක් පමණක් ලබාගත් ශ්‍රී ලංකාව එහි 6 වැනි ස්ථානයට පත් විය.


-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.