Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ත්‍රාසයෙන් කම්පනයට
නරියා කන්ද සුපර් ක්‍රොස් - 2024

ත්‍රාසයෙන් කම්පනයට

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ත්‍රාසයෙන් වික්ෂිප්තයට යන තේමා පාඨය උලුප්පා දක්වමින් වසර 5 කට පසුව සංවිධානය කෙරුණු නරියා කන්ද සුපර් ක්‍රොස් තරගාවලිය මුළු රටම ත්‍රාසයෙන් මහත් කම්පනයට පත්කරමින් පෙරේදා (21 වැනිදා) නිමාවට පත් වූයේ පුද්ගලයන් 7 දෙනෙකුට ජීවිත පවා අහිමි කරමිනි. එම සිදුවීම් මාලාව හේතුවෙන් පෙරේදා දිනය තවත් අදුරු සෙවනැලිවලින් පිරුණු අප්‍රේල් 21 වැනිදාවක් බවට පත්වූයේ අතීතයේ දුක්බර මතක යළි යළිත් සිහිපත් කරමිනි. 

මීට වසර 37 කට පෙර සිදුවූ පිට කොටුවේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත 113 ක් අහිමි වූයේද, වසර 5 කට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත 269 ක් අහිමි වූයේද අප්‍රේල් 21 වැනිදා දිනකය. මෝටර් රථ ක්‍රීඩක රංජිත් ධනපාල 2007 වසරේ නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේ පුහුණුවීම් අතරතුර අනතුරකට ලක්වෙමින් ජීවිතක්ෂයට පත් වූයේද අප්‍රේල් 21 වැනිදාය. 

අනතුර සිදුවන විට ධාවන පථයේ වම්පස පෙරළී තිබූ මෝටර් රථය

එබැවින් ශ්‍රී ලංකා වාසීන් සියලු දෙනාට මෙන්ම මෙරට මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ටත් අප්‍රේල් 21 වැනිදාව ශෝක දිනයක් අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් මෙවර එය ශෝක දිනයක් බවට පත්වූයේ කාගේ වරදින් දැයි යන්න, නැතහොත් මෙම අවාසනාවන්ත සිදුවීම් මාලාවේ වගකීම කවුරුන් භාරගත යුතු දැයි යන්න මේ වන විට බොහෝ දෙනෙකු විමසන පැනය වී තිබේ. 

ඒ පිළිබඳව ඇතමුන් තරග සංවිධායකයන්ට දොස් පවරන අතර සමහරෙක් ක්‍රීඩකයන්ටත්, තවත් සමහරෙක් නරඹන්නන්ටත් දොස් පවරති. එහිදී තරග සංවිධායකන්ට එල්ල වන ප්‍රධානම චෝදනා දෙක වන්නේ ධාවන පථය තුළ ආරක්ෂක විදි විධාන නිසි ලෙස යොදා නොතිබීම සහ ධාවන පථයට නිසි ලෙස ජලය නොයෙදීමය. 

මෝටර් රථ තරග සංවිධානය කිරීමේදී අනතුරු සිදුවිය හැකි ස්ථාන හඳුනාගෙන, අනතුරක් සිදුවුව හොත් මෝටර් රථ ධාවන පථයෙන් ඉවතට ඇදී යෑම වලක්වාලීම සඳහා එම ස්ථාන වැලි පිරවූ ගෝනිවලින් සහ ටයරවලින් අවරණය කිරීම සාමාන්‍ය සිරිතය. මෙම අනතුර සිදුවූ ස්ථානය අවධානම් සහගත ස්ථානයක් වුවත්, එහි එකදු වැලි ගෝනියක් හෝ ටයරයක් දක්නට නොලැබීම ආරක්ෂාව සම්බන්ධයෙන් සංවිධායකයන්ට චෝදනා එල්ල වීමට හේතුව ලෙස දැක්විය හැකිය. 

එමෙන්ම තරග පැවැත්වෙන දිනයේ අළුයම ධාවන පථයට ජලය යෙදීමෙන් පසුව අවම වශයෙන් තරගාවලිය තුළදී තෙවරක්වත් ධාවන පථයට නැවත ජලය යෙදීමට සංවිධායකයන් වග බලාගත යුතු බවද, කණගාටුවට මෙන් මෙවර තරගාවලියේදී එය නිසි පරිදි සිදුවූ බවක් දක්නට නොලැබුණු බවද, ආරම්භක නරියාකන්ද තරගාවලියේ සිටම ඒ හා සමබන්ධ වූ මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 

“අපි ඉස්සර ට්‍රැක් එකට වතුර දාන්න පටන් ගන්නෙ පාන්දර 3 විතර. ඊට පස්සෙ ට්‍රැක් එකේ තත්වය දිහා බලලා තද අව්වක් තිබුණොත් තරග හත අටකට සැරයක් ආයෙමත් වතුර දානවා. එහෙම වතුර දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ට්‍රැක් එකේ දූවිලි ගතිය අඩු කරන එක. හරියට වතුර දැම්මෙ නැත්නම් දූවිලි ගතිය වැඩි වෙලා මුල් වාහන කිහිපය ගියාට පස්සෙ පිටි පස්සෙන් එන වාහාන වලට පාර පේන්නෙ නැතුව යනවා. එතකොට තමයි හුඟක් අනතුරු සිදුවෙන්නෙ.” යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය. 

මෙම ප්‍රකාශ සමග මෙවර තරගාවලියට සහභාගි වූ තරගකරුවන් බොහොමයක් එකඟ වන බව වාර්තා වන අතර ඔවුන්ගෙන් ඇතමෙක් අප කළ විමසුමකදී කියා සිටියේ මින් පෙර පැවැති තරගාවලීන්ට සාපේක්ෂව මෙවර තරගාවලියේදී ධාවන පථය තුළ දූවිලි වළාවන් හටගත් ප්‍රමාණය වැඩි බවය. ඒ හේතුවෙන් බොහෝ මෝටර් රථ එකිනෙක ගැටුණු බවත්, ඇතැම් ධාවකයන් ධාවන පථය නොපෙනී යෑම හේතුවෙන් තරගය නිමා නොකර අතරමැදදී තරගවලින් ඉවත්වූ බවත් ඔවුහු කියා සිටියහ. 

අනතුර සිදුවූ ස්ථානයේ සිටි නරඹන්නන්ට මෙන්ම නිලධාරීන්ටද (කෝනර් මාෂල්වරු) ධාවන පථයෙන් ඉවතට පැමිණි මෝටර් රථය ඔවුන් අසලටම පැමිණෙන තෙක් නොපෙනී ගියේද ඉහත කී දූවිලා වළාවන් හේතුවෙන් බව අනතුර හා සම්බන්ධ වීඩියෝ දර්ශන නරඹන ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. තත්පර කිහිපයක් ඇතුළත දූවිලි වළාවන් ගොන්නක් අතරින් එකවරම මතු වූ මෝටර් රථ දෙකක ගැටීමෙන් වැළකී සිටීම සඳහා ඔවුන්ට කිසිවක් කර කියාගත නොහැකි විය. 

එම අවස්ථාවේ ධාවන පථයේ වම්පස කෙළවරේ තවත් මෝටර් රථයක් පෙරළී තිබූ අතර ඒ පිළිබඳව පසුපසින් එන මෝටර් රථවලට සංඥා කිරීම සඳහා නිලධාරීහූ දකුණු කෙළවරේ කහ පැහැති කොඩි වනමින් සිටියහ. සාමානයෙන් ධාවන පථයක් තුළ කහ පැහැති කොඩියක් දුටු විගස ඉදිරියෙන් අනතුරක් සිදුවී ඇති බව වටහා ගනිමින් පසුපසින් එන ධාවකයන් තම මෝටර් රථවල වේගය ආඩාල කරමින් ප්‍රවේශම් ලෙස ධානයේ යෙදිය යුතුය. 

එහෙත් මෙම අවස්ථාවේදී එවැනි වේගය අඩාල කිරීමක් සිදු නොකළ බවට එකිනෙක ගැටී ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය මෝටර් රථ පැදවූ ධාවකයන් දෙදෙනාට ඇතමුන් චෝදනා කර තිබූ අයුරු දැකගත හැකි විය. කෙසේ වුවත් එලෙස චෝදනා කිරීමට පෙර වේගය අඩාල කිරීම සඳහා එතරම් විශාල දූවිලි වළාවන් ගොන්නක් මැද ඉදිරියෙන් දමා තිබූ කහ පැහැති කොඩි ඔවුන්ට දිස්වූයේද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. 


අදහස් (0)

ත්‍රාසයෙන් කම්පනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.