Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර 28 ක් තිස්සේ කාන්තා එක්දින අන්තර්ජාතික තරග වලට සහභාගි වන ශ්‍රී ලංකාව එද මෙදා තුර 20 වතාවක් එංගලන්තය මුණගැසී තිබේ. එහෙත් ඒවායින් ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ 2013 දී පැවැති තරගය පමණි. දෙපිල අතර පැවැති තරග 20 න් තරග 17 ක් ශ්‍රී ලංකා කාන්තාවෝ පරාජය වී සිටිති.
අතීත වාර්තාව අවාසිදායක වූවත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් වත්මන් කාන්තා කණ්ඩායම හෝ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට ඒ ගැන වගේ වගක් නැත. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී එංගලන්තයට මුහුණ දීමට චමරි අතපත්තු ඇතුළු පිරිවර සූදානම් ව සිටිති.
“කඩුල්ල යම් ආකාරයකින් (දඟ පන්දු යවන්නියන් වෙනුවෙන්) සහයෝගයක් දේවි කියලා අපි විශ්වාස කරනවා, නමුත් අපි ඕනෑම ආකාරයකින් එන ඕනෑම දෙයකට මුහුණ දෙන්න සූදානම්.” යයි පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා අද සවස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කියා සිටියේය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට මුහුණ දෙන්නේ සිය 200 වැනි එක්දින තරගයටය. මේ දක්වා පැවැති එක්දින තරග 199 න් ශ්‍රී ලංකා පිල තරග 67 ක් ජයගෙන තිබේ. එහෙත් කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී එංගලන්තය ඉතාමත් පළපුරුදු කණ්ඩායමකි.
1973 සිටම එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන එංගලන්ත කණ්ඩායම මේ දක්වා ජයගෙන ඇති තරග සංඛ්‍යාව 244 කි.
පළපුරුදු එංගලන්ත කණ්ඩායම දකුණත් පිතිකාරිණියන්ගෙන් ගහණය. දකූණත් පිතිකාරිණියන් මෙල්ල කරගැනීම සඳහා හොඳම විසඳුම ලෙසින් සැලකෙන වමතින් පන්දු යවන්නියෝ දෙදෙනෙක්ම ශ්‍රී ලංකා පිලේ සිටිති. පිතිකරුවාට එදිරිව පන්දු යවන පිට දඟ පන්දු යවන්නියක් ද බංකුවේ සිටී. වඩාත් අසීරු අභියෝගය වන්නේ එංගලන්ත පිලට එරෙහිව ක්‍රීඩා කරන 11 දෙනා තෝරා ගැනීමයි.
එංගලන්ත ආරම්භක පිතිකාරිණිය වන ටැමී බියුමොන්ට් තමන්ට වමත් පිතිකාරිණියන් නොමැතිවීම පිළිබඳ තරමක කණස්සල්ලෙන් සිටී, එහෙත් ශ්‍රී ලංකා පිලේ වමත් පිතිකාරිණියන් තිදෙනකු සිටින නමුත් එය වාසියට කාරණාවක් ලෙසින් සැලකිය නොහැකිය.
“එංගලන්තය ශක්තිමත් වන්නේ මොන අංශවලින්ද කියා අපි දන්නවා, ඒ වගේම ඔවුන් ඒ සියල්ලම කරන ආකාරයත් අපි දැක තිබෙනවා, ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අපට හැකි උපරිම ආකාරයෙන් අපි ක්‍රියාත්මක වෙනවා” යයි ද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
1985 දී ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණයේදී කඩුලු 6 ක් දවාගනිමින්, ඒ සඳහා මහඟු මෙහෙවරක් කළ රුමේෂ් රත්නායක මහතා කණ්ඩායමක් ජයග්‍රහණය කරා තල්ලු කරන්නේ කෙසේද යන්න අතැඹුලක් සේ දන්නා අයෙකි.
රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරුවා වූ දා සිටම කාන්තා කණ්ඩායම දිනෙන් දින දියුණුව කරා පා නැඟීය. ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රේණිගත කිරීම් අනුවය. පුහුණුකරුවා ඒ සියල්ලටම හේතුව ලෙසින් දකින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුළ පවතින ආකල්පයයි.
“මට එක වචනයකින් කියන්න පුළුවන් නම්, ඒක ආකල්පය තමයි”
“මොකද ඔවුන් ගෙනාපු විනයක් තියෙනවා. ඒක මට විතරක් නෙවෙයි, මම හිතන්නේ ඒක සකස් කරලා තිබුණා. ඒ නිසා මම කණ්ඩායම බාරගත්තාට පස්සේ ඒ වගේ තත්ත්වයක් එක්ක ඉදිරියට යන්න පහසු වුණා” යයි ද රත්නායක මහතා කීවේය.
කෙසේ වෙතත් අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී රත්නායක මහතා අවධාරණය කළ සුවිශේෂී කාරණාවක් තිබේ. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණයන් හය හත් දෙනාගෙන් කවරකු හෝ ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටිය යුතු බවයි.
“ඇත්තටම අපි පැය කිහිපයකට පෙරත් මේ ගැන විස්තරාත්මකව කතා කළා”
“පිතිකරු අනුපිළිවෙළේ පහළින් එන අනෙක් කණ්ඩායම් වල අය -වැඩිපුර ලකුණු ලබා ගන්නා ආකාරය අපි පසුගිය තරග කීපයේදීම දැක්කා. ඒත් අපගේ ප්‍රධාන වගකීම වෙන්නේ පිතිකරු ලයිස්තුවේ ඉහළින් ඉන්න හත්දෙනාගෙන් කෙනෙක් වැඩිම ලකුණු ලබා ගැනීමයි” යයි කී රත්නායක මහතා....
“අපි එය දකින්නේ වෙනස් ආකාරයකින්.. අපි ඒ තත්ත්වයට මුහුණ දෙන්නේත් වෙනස් විදිහකට...”
“අන්තිමට අපි සෙල්ලම් කරපු (ඉන්දියාවට එරෙහිව) තරගයේදී කව්රුවත් ලකුණු 50 ක් ගත්තේ නෑ. ඒත් අපිට ලකුණු 50 කින් ඇති වැඩක් නෑ.... අපි ඊට වඩා ලොකු ගාණකට යන්න ඕනා...ඒ කියන්නේ ඉහළින් එන පිතිකාරිණියන් හය දෙනගෙන් කෙනෙක් ඉනිම අවසන් වෙනකම්ම කඩුල්ලේ ඉන්න ඕනා...” යයි ද පැවසීය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් අවසන් වරට (එකම අවස්ථාව) එංගලන්තය පරාජය කර ඇත්තේ 2013 දීය. එම තරගයේදීත් චමරි අතපත්තු (62) සාර්ථක වී ඇති අතර ඇය සහ ආරම්භක පිතිකාරිණි යශෝධා මෙන්ඩිස් (46) අතර ශතක සම්බන්ධතාවක් පැවැති නමුත් පන්දු 41 කින් ලකුණු 56 ක් ලබාගත් එශානි ලොකුසූරිය කඩුලු දෙකක් ද දවාගනිමින් එදා තරගයේ දක්‍ෂතම ක්‍රීඩකාව වූවාය.
“එදා එහෙම වුණත්, අපි ක්‍රීඩා කරන්නේ වත්මන් කණ්ඩායමත් එක්ක”
“අපේ සූදානමේදී අපි වර්තමානය ගැන කතා කරනවා... වත්මන් කණ්ඩායම සහ ඔවුන් සිටින ස්ථානය වගේම අපට කළ හැකි දේ ගැනත් කතා කරනවා..... කොහොම වුණත් අපේ පිතිහරඹයේදී අපට වඩාත්ම අවශ්‍ය වන්නේ ඉවසීම සහ විනයයි. ඒ නිසා එය ස්ථාපිත කිරීමට වැඩි අවධානයක් අවශ්‍යයි” යයි ද රුමේෂ් රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ 200 වැනි එක්දින තරගය වන්නා සේම නිලක්‍ෂි ද සිල්වාගේ 50 වැනි එක්දින තරගය ද වෙයි. මේ දක්වා එක්දින ලකුණු 976 ක් ලබා සිටින නිලක්‍ෂිට ලකුණු 1000 කඩඉම පසුකිරීම සඳහා අවශ්‍ය වන්නේ තවත් ලකුණු 24 කි.
එලෙසින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 4000 ක් ලබාගත් පළමු පිතිකාරිණිය වීමට නායිකා චමරි අතපත්තුට තවත් ලකුණු 80 ක් අවශ්‍ය වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.