
(සැකසුම - දමින්ද විජේසූරිය)
නායිකා චමරි අතපත්තු අසාර්ථක වූ නමුත් පන්දු 131 කින් ලකුණු 95 ක් ලබාගත් ආරම්භක පිතිකාරිණි, හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 44) එක්ව බංග්ලාදේශයේ රාජ්ශාහි නුවරදී පැවැති පැවැති තුන්වැනි කාන්තා එක්දින තරගයේදී කඩුලු 7 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. ජයග්‍රහණය මෙන්ම සිය මංගල එක්දින ශතකයත් පෙනි පෙනී හසිනි පෙරේරා දැවීගිය නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ පසුකරන තුරුම හර්ෂිතා සමරවික්‍රම සිය කඩුල්ල රැකගත්තාය.
මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 2-1 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගත්තා පමණක් නොව, 2025 - 2029 අන්තර්ජාතික කාන්තා එක්දින ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයත් අත්කර ගත්තේය. මෙම ශූරතාවලියටම ඇතුළත්ව තිබූ කොදෙව් තරගාවලියේදීත් ශ්‍රී ලංකා කාන්තාවෝ 2-1 ක තරගාවලි ජයක් අත්කර ගත්හ.
2025 - 2029 අන්තර්ජාතික කාන්තා එක්දින ශූරතාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 7 සහ සත්කාරක කණ්ඩායම 2029 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබයි.
බංග්ලාදේශයට එරෙහිව රාජ්ශාහි නුවරදී පැවැති තරග 3 කින් යුත් තරගාවලිය ආරම්භ වූයේ අසාර්ථක ලෙසිනි. ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් නායිකා චමරි අතපත්තු එම තරගයට ක්‍රීඩා නොකළ අතර ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්හ.
එහෙත් දෙවැනි තරගයට එක්වූ නායිකා චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් තරගාවලිය සමකරගත් ශ්‍රී ලංකා කාන්තාවෝ අද (25 වැනිදා) පැවැති තුන්වැනි තරගයත් පන්දු 21 ක් ඉතිරිව තිබියදී ජයගනිමින් තරගාවලියේ ජයග්‍රාහිකාවන් බවට පත්වූහ.
නව පුහුණුකරු ජැමී සිඩන්ස් මහතා යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු වැනි තරගාවලිය මෙයයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයේ කඩුලු 3 ක් ලකුණු 69 කට බිඳ වැටිණ.
එහෙත් ශෝභනා මෝස්තරි සහ නායිකා නිගාර් සුල්තානා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් බංග්ලාදේශ කණ්ඩායම තරගයට කැඳවාගෙන ආවෝය. පන්දු 80 කින් ලකුණු 74 ක් ලබාගත් ශෝභනා ඉනිමේ අවසන් පන්දුව දක්වාම පිටියේ රැඳුණු බැවින් ලකුණු 213 ක් කරා බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට යා හැකිවිය.
එක්දින තරග 66 කට සහභාගි වී ඇතත් අර්ධ ශතක 3 ක් පමණක් ලබා සිටින හසිනි පෙරේරාගේ හෙඳම එක්දින ඉනිම මෙයයි. පන්දු 131 කින් 13 ක් හතරේ සීමාවට යැවූ හසිනි, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉමේෂා දුලානි (56) සමගින් එක්ව ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවාය. චමරි අතපත්තු ලකුණු 10 කට දවාගැනීමෙන් පසුව මහත් උද්දාමයට පත්ව සිටි බංග්ලාදේශ පන්දු යවන්නියන්ගේ ගණන් බැස්සවීමට හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි සමත් වූ අතර ලකුණු 56 ක් වෙනුවෙන් පන්දු 79 කට මුහුණ දුන් ඉමේෂා දුලානි ඒවායින් 7 ක් හතරේ සීමාවෙන් එපිටට යැව්වාය.
ඉමේෂාගේ දැවී යාමෙන් පසුව පැමිණි හර්ෂිතා සමරවික්‍රම සමගින් එක්වූ හසිනි පෙරේරා, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ද ගොඩනැංවූවාය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 තරගාවලිය මේ මස 28 වැනිදා ශිලාත් නුවරදී ආරම්භ වේ.
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන ජූනි මස 12 වැනිදා ආරම්භ වන බැවින් විස්සයි-20 තරගාවලිය වෙත ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි අවධානය යොමු වී තිබේ.
බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 8 213 යි
(ෆර්ගානා හක් 11, සර්මින් සුල්තානා 17, ශර්මින් අක්තාර් 25, නිගාර් සුල්තානා 40, ශෝභනා මෝස්තරී 74, රිටූ මෝනි 20, නිමේෂා මීපගේ 40/2, කවීෂා දිල්හාරි 48/3)
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 46.3 කදී කඩුලු 3 ට 214 යි
(හසිනි පෙරේරා 95, චමරි අතපත්තු 10, ඉමේෂා දුලානි 56, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 44, මරූෆා අක්තාර් 49/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.