
(දමින්ද විජේසූරිය)
ක්‍රීඩකයන්ට විවිධ හැකියාවන් ඇති නමුත් වෘත්තීය ක්‍රීඩකයන්ට, අන්තර්ජාතික මට්ටමේදී තරග කිරීමට, හුදෙක් හැකියාව පමණක් ප්‍රමාණවත් නොවන බවත්, කණ්ඩායමක් ලෙසින් ඉදිරියට යාමේදී ක්‍රීඩකයන්ගේ විනය, වෘත්තීමය ප්‍රවේශය සහ යහපත් ආකල්ප වඩාත් වැදගත් වන බවත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා කියයි.
කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (23 වැනිදා) පෙරවරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඔහු ඒ බව අවධාරණය කර සිටියේය.
“සෑම ක්‍රීඩකයෙකු තුළම අප සොයන්නේත් එයමයි”
“දක්ෂතා මත පමණක් විශ්වාසය තැබිය නොහැකියි. වෘත්තීය ක්‍රීඩකයන් වුණාම නිශ්චිත ආචාර ධර්ම පද්ධතියක් මත කටයුතු කරමින් යහපත් ආකල්ප පිළිබඳ වැඩි විශ්වාසයක් තැබිය යුතුයි” යයි ක්‍රීඩකයන්ගේ ආකල්ප, විනය සහ වෘත්තීමය ප්‍රවේශය පිළිබඳව කළ විමසීමේදී ගැරී කර්ස්ටන් මහතා පැවසීය.
“කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මගේ කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වීමට සැබවින්ම කැමති ක්‍රීඩකයින් සමග ඉදිරියට යාමයි. කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කිරීමේ උනන්දුවක් ඇති, ඒ වාගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ උපරිමය දායාද කිරීමට සූදානමින් සිටින ක්‍රීඩකයන් ඒ වෙනුවෙන් පෙළඹවීම මගේ රාජකාරිය කියා මා හිතනවා” යයි ද ගැරී කර්ස්ටන් මහතා පැවසීය.
වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියානුවන් ලෝක කුසලාන දිනාගත්තේ ගැරී කර්ස්ටන් මහතා ඔවුන්ගේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටියදීය. වසර 2024 දී ඔහු පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාරගත් නමුත් මාස 6 කට පසුව සිය තනතුර හැරගියේ “මේ ගොල්ලන් එක්ක වැඩකරන්න බෑ” කියමිනි.
ක්‍රීඩකයන්ගේ ආකල්ප, විනය සහ වෘත්තීමය ප්‍රවේශය පිළිබඳව අවධානය යොමුකරන නව පුහුණුකරුවා, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳවත් එවැනිම අවධානයක් යොමු කරයි.
“ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවත් ඉතාම වැදගත්”
“අවාසනාවකට, ක්‍රිකට් කියන්නේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් අඳුරු පැති කිහිපයක් තියෙන ක්‍රීඩාවක්. මොකද, නියමිත ශාරීරික යෝග්‍යතාව නැතිව වුණත්, ක්‍රීඩකයින්ට පුළුවන් තරමක් දුරට දස්කම් දක්වන්න.. ඒත් ශාරීරික යෝග්‍යතාව කියන්නේ හැකිතරම් කාලයක් ඔවුන්ව පිටියේ රඳවා තබා ගැනීමයි” යයි ද කර්ස්ටන් මහතා පැවසීය.
“ක්‍රීඩකයන් නියමිත ශාරීරික යෝග්‍යතාවක නැත්නම් ඔවුන්ට ආබාධ ඇතිවෙනවා. එත් කිසියම් වැදගත් තරඟාවලියක් හෝ වැදගත් තරඟයකදී අපි කිසි කෙනෙක් එවැනි දෙයක් බලාපොරොත්තු වන්නේ නෑ..”
“ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉතාමත් වැදගත්. මොකද, ඒක ලෝකයේ ඕනෑම තැනකට එක සමානයි. එය ලෝකයේ තැනින් තැනට වෙනස් වන දෙයක් නොවෙයි. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවලට විවිධ අර්බුද තිබුණත්, ඒක ඉතාම වැදගත්” යයි ද ගැරී කර්ස්ටන් මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශාරීරික යෝග්‍යතා මට්ටම් ක්‍රීඩකයන්ට ළඟාවීමට අසීරු මට්ටම් ලෙසින් තමන් නොසිතන බවත් පුහුණුකරුවා කියයි.
“අවංකවම කියනවා නම්, (ශ්‍රී ලංකා) ක්‍රීඩකයින් මේ ඉල්ලා සිටින ශාරීරික යෝග්‍යතා මට්ටම් කරා ළඟා විය යුතුයි. මොකද මේ යෝග්‍යතා පරීක්ෂණ ඕනෑවට වඩා දුෂ්කරයි කියලා මා හිතන්නේ නෑ. ඒවා මූලික වටශයෙන් සම්මත මට්ටම්”
“(වෘත්තීය මට්ටමේ) ක්‍රීඩකයින් එම ප්රමිතීන් කරා ළඟා වනු ඇතැයි සෑම කෙනෙකුගේම නිසැක අපේක්ෂාවක් තියෙනවා. මා සම්බන්ධ වී ඇති ඕනෑම රටක එම යෝග්‍යතා මට්ටම් බොහෝ දුරට සමානයි” යයි ද ගැරී කර්ස්ටන් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.