Last Update  :  2026-04-24 12:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එල්.පී.එල්. තරගාවලියට අලුතෙන් කණ්ඩායම් 2 ක්

එල්.පී.එල්. තරගාවලියට අලුතෙන් කණ්ඩායම් 2 ක්

editorial - 2026 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මේ වසරේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියට අලුතෙන් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී සිටිති. පසුගිය වසරේදී තහනම් කරන ලද කලම්බු ‘ස්ට්‍රයිකර්ස්’ කණ්ඩායම වෙනුවට මේ වසරේදී කලම්බු ‘කැප්ස්’ යනුවෙන් කණ්ඩායමක් එක්ව සිටින අතර යාපනය සඳහාත් තවත් හිමිකරුවෙක් ඉදරිිපත්ව සිටී. 

මෙම කණ්ඩායම් හිමිකරුවන් සඳහා ගිවිසුම් පත්‍ර සකස් කෙරෙමින් පවතින අතර සංවිධායකයන් වන අයි.ජී.පී. සමාගම විසින් එම ගිවිසුම්පත් අවසන් කිරීමෙන් පසුව තරගාවලියේ හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාරදිය යුතුව තිබේ. 

තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම මැයි මස 4 වැනිදා සිට ආරම්භ කෙරේ. 
2020 වසරේදී ආරම්භ කරන ලද එල්.පී.එල්. තරගාවලිය, පසුගිය වසරේදී පැවැත්විය නොහැකි විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් පැවැති ගිවිසුම් කඩකිරීම හේතුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ඒ වෙනුවට වෙනත් කණ්ඩායම් නොපැමිණි අතර පසුගිය වසර අගදී ශ්‍රී ලංකාවේදී පැවැති කාන්තා (එක්දින) ලෝක කුසලාන තරගාවලිය සහ මේ වසර මුලදී ශ්‍රී ලංකාවේදීම පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් හේතුවෙන් 2025 එල්.පී,එල්. තරගාවලිය අත්හිටුවන ලදි. 

2026 එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 10 වැනිදා සිට අගෝස්තු මස 5 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. කොළඹ එස්.එස්.සී, ආර්. ප්‍රේමදාස, පල්ලෙකැළේ සහ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණ වලදී මේ වසරේ එල්.පී.එල්. තරග පැවැත්වෙනු ඇත. 

මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි හතරෙන් තරගාවලි තුනක ශූරතා දිනාගැනීමට ජැෆ්නා (යාපනය) කිංග්ස් පිල සමත්ව තිබේ. එහෙත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නෙරපා හැරීම හේතුවෙන් මෙවර යාපනය කණ්ඩායමට අලුත් හිමිකරුවකු ලැබෙනු ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු වන සමන්ත දොඩන්වල මහතා එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා ලෙසින් කටයුතු කරයි. 


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලියට අලුතෙන් කණ්ඩායම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.