(නාමල් පතිරගේ)
ආසියානු කුසලාන (2027) නිර්දේශ වටයේ සිය අවසන් තරගයට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අනිද්දා (29) බැංකොක් නුවර සිට තායිපේ නුවරට ළගාවීමට නියමිතය. සත්කාරක චීන - තායිපේ හා ශ්‍රී ලංකාව අතර එම තරගය අගහරුවාදා ( 31) තායිපේ නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ටය.
මෙම තරගයට පෙර සූදනම් වෙමින් ශ්‍රී ලංකාව පසුගිය සෙනසුරාදා (21) තායිලන්තයේ නේවාසික පුහුණු සැසි වාරයකට සහභාගි වෙමින් බැංකොක් නුවර බලා පිටත්ව ගියේය.
අගහරුවාදා තායිපේ නුවරදී පැවැත්වෙන තරගය දෙපිලටම ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යාමට පමණක් බලපෑමක් කෙරෙන අතර ආසියානු කුසලාන (2027) නිර්දේශ තරග වටයෙන් මෙම දෙපිලම මේ වන විට ඉවතට ගොස් තිබේ.
එහිදී ශ්‍රී ලංකාව එහි ඩී කාන්ඩයෙන් තරග වැදීමේදී මෙතෙක් තරග පහකට සහභාගිවී ඉන් තරග දෙකක් ජය ලබා සෙසු තරග පරාජය වීමෙන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැනේ පසු වෙන්නේ ලකුණු හයක් රැස් කිරීමෙනි.එහිදී මෙම ලීග් තරග වටයේ කොළඹදී පළමු මුණ ගැසීමේදී චීන - තායිපේ ගෝල 3 - 1 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව සිය රටේදී දෙපිල සිදු කෙරෙන දෙවැනි මුණ ගැසීමේදී කොළඹදී තමන් ලද පරාජයේ වාඩුව උපරීම ලෙස ලබා ගැනීමට චීන - තායිපේ කණ්ඩායම උනන්දු වනු ඇත.එහිදී සිය රටේදී තරගය පැවැත්වීමේ වාසියද ඔවුන් සතු වේ. මෙතෙක් තරග වටයේ සහභාගි වූ සියළු තරග (5) පරාජයවීම තුළ තායිපේ ක්‍රීඩකයන්ට කිසිදු ප්‍රසාද ලකුණක් අත් නොවීමද කැපී පෙනේ.
ඒ අනුව ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් ඔවුන් යම්තාක් දුරකට සිය නම්ඹුව ආරක්ෂා කර ගැනීමට උත්සුක වනු ඇත. කෙසේවූවත් මෙම තරගය ජය පරාජයෙන් තොරව හෝ සම කිරීමට සමත්වීමත් ශ්‍රී ලංකාවේ ගෞරවයට ප්‍රමාණවත් වනු ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත (පිරිමි කණ්ඩායම්) කිරීම් අනුව 194 වැනි ස්ථානයේත් චීන - තායිපේ 174 වැනි ස්ථානයේත් පසු වේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් තිදෙනෙකුගේ වෙනසක් සිදු කර තිබේ. ඒ ආබාධ හේතුවෙන් එහි ක්‍රීඩකයන් තිදෙනෙකුගේ ඉවත්වීම වෙනුවටය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරා මෙම තරගයේදීත් කණ්ඩායමට නායකත්වය දෙයි. ඔහු ජාත්‍යන්තර තරග 62 ක අත්දැකීම් හෙබි 34 හැවිරිදි කණ්ඩායමේ මේ වන විට ජේය්‍යෂ්ඨතම ක්‍රීඩකයායි.
චීන - තායිපේ කණ්ඩායමට නායකත්වය දෙන මැද පෙළ ක්‍රීඩක 37 හැවිරිදි චෙන් පෝ ලීයැන්ග් මෙතෙක් සහභාගි වූ ජාත්‍යන්තර තරග 97 කදී ගෝල 25 ක් වාර්තා කර ඇති ක්‍රීඩකයෙකි.
කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරී මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුයි.ඕස්ට්‍රේලියානු ජාතික මැට් රෝස් මහතා චීන - තායිපේ කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරුයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.