කාන්තා ලෝක කුසලාන - 2025
වියැකෙන බලාපොරොත්තු අතරේ පුංචි තාරකාව
(දමින්ද විජේසූරිය)
කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තාවන්ට ඉතිරිව ඇත්තේ එකම බලාපොරොත්තුවක් පමණි. එනම් තරගාවලිය ජයග්‍රහණයකින් කෙළවර කිරීමයි. තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ බලාපොරොත්තුව වූවත් ප්‍රසාද ලකුණු පුවරුවේ මේ වන විට පවතින තත්ත්වය අනුව චමරිගේ බලාපොරොත්තුව පෙනෙන්නේ ඈත අහසේ ඇති පුංචි තාරකාවක් ලෙසිනි.
බංග්ලදේශයට එරෙහිව ඉන්දියාවේ නවී මුම්බායි නුවරදී පැවැති තරගය ජයගත් නමුත් ශ්‍රී ලංකා නායිකාව ඒ ගැන කතාකළේ කණස්සල්ලෙනි. තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ කෙරුවාව නවී මුම්බායි නුවරදී චමරි අතපත්තු කළ කතාවේ අන්තර්ගතව තිබිණ.
ඒත් හෙට අලුත් දවසකි.
පාකිස්තානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දුර්වලම කණ්ඩායම බව ප්‍රසාද ලකුණු පුවරුව දෙස බැලූ කල්හි එක එල්ලේම වටහාගත හැකිය. ඒ බව තවත් පැහැදිළි කරගැනීමට අවශ්‍ය නම් පාකිස්තානු කාන්තාවන්ගේ ශුද්ධ ලකුණු වේගය (-2.651) දෙස බැලිය හැකිය.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය පුරාම පෙරළි සිදුවූ අවස්ථා බොහෝ තිබේ. 1979 දී එවකට ටෙස්ට් වරම් නොතිබූ ශ්‍රී ලංකා (පිරිමි) කණ්ඩායම විසින් ටෙස්ට් පිටියේ ප්‍රබලයන්ව සිටි ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමත් 1996 දී කෙන්යානුවන් විසින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමත්, අතීතයේ සිදුවූ පෙරළි කිහිපයකින් දෙකක් පමණි. ලෝක කුසලාන තරග යනු ඕනෑම අවස්ථාවකදී පෙරළියක් සිදුවිය හැකි තරගාවලියකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරෙස්සම් විය යුත්තේ එතැනිනි.
“අපි මේ තරගය සඳහා ඉතාමත් හොඳින් සූදානම් වෙලයි ඉන්නේ. විශේෂයෙන්ම කලින් තිබුණ තරගය දිනපු නිසා කණ්ඩායමේ හැම දෙනාම වාගේ හෙට තරගයට සූදානම් වෙලයි ඉන්නේ”
“එදා තරගයෙන් පස්සේ අපේ කණ්ඩායම් රැස්වීමේදි අපි කතා කළේ පිතිකාරිණියන් හැටියට අපි කොහොමද කණ්ඩායමට වැඩි දායකත්වයක් දෙන්නේ කියන එක ගැනයි. නායිකාව, පුහුණුකරු වගේම අනික් සියලු දෙනාත් ඒ ගැන කතා කළා. ඒ නිසා අපේ හොඳම හැකියාව හෙට තරගයේදී පෙන්නන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ” යයි අද (23 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඉදිරිපෙළ පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම ප්‍රකාශ කළාය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී හර්ෂිතා තරග 5 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 105 කි. සාමාන්‍යය 21.00 කි. හොඳම ඉනිම එංගලන්ත කාන්තාවන්ට එරෙහිව ලබාගත් ලකුණු 33 යි.
කාන්තා ලෝක කුසලාන තරගාවලිය එහි නිමාවට ආසන්න වෙමින් තිබුණද, තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිණියන් 30 දෙනා අතර සිටින්නේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු පමණි. වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නියන් 30 අතර සිටින්නේත් ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙකි. ඔවුන් අතර සිටින තුන්වැන්නිය වන උදේශිකා ප්‍රබෝධනී ලබා සිටින කඩුලු සංඛ්‍යාව 5 කි.
තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කාන්තාවන් ක්‍රීඩා කළ ආකාරය ගැන එයින් ආසන්න වැටහීමක් ලබාගත හැකිය.
“තරග තුනකදීම මම හොඳ ආරම්භයක් ගත්තත් මට ලොකු ඉනිමක් කරා යන්න බැරිවුණා. මම හිතන්නේ ඒකට හේතුව වුණේ වැරදි වෙලාවේ වැරදි පහර ගැසීමයි. මම ඒ ගැන පුහුණුවීම් වලදී ගොඩක් මහන්සි වුණා. පුහුණුකරුවන් එක්කත් කතා කළා. මම දැන් ඒවා වෙනස් කරගෙන ඉන්නේ. හෙට තරගයේදී හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යයි ද හර්ෂිතා කීවාය.
තරගයකට පොරතුව බොහෝ දේවල් කිව හැකිය. එහෙත් සැබෑම අභියෝගය මතු වන්නේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන දේ තරගයේදී ක්‍රියාත්මක කිරීමට යාමේදීය.
ලෝක කුසලාන තරගාවලියේ අනෙකුත් කණ්ඩායම් මෙන් නොව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැඩි වශයෙන් තරග කළේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6 න් 4 කට කොළඹදී මුහුණ දුන් අතර පාකිස්තානු ක්‍රීඩිකාවෝ තරග 6 ටම ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කළහ.
“මේ ක්‍රීඩාංගණයේදී පැවැති පසුගිය තරග වලදී මොකද වුණේ කියලා අපි හොඳට බැලුවා. මේකේ වේග පන්දු යවන්නියන්ට හොඳ වාසිදායක තත්ත්වයක් තියෙනවා. අපි තණතීරුව ඉතාමත් හොඳින් අධ්‍යනය කරලා තියෙනවා. ඒ නිසා අපේ ක්‍රීඩාව ඒ තත්ත්වය අනුව වෙනස් කරගන්නයි හිතාගෙන ඉන්නේ”
“මේකේ පන්දුව හොඳින් දෝලනය වෙනවා වගේම දඟ කැවීමත් හොඳින් තියෙනවා. මම අවධානය යොමු කරලා තියෙන්නේ ඒ තත්ත්වයට අනුව හැඩගැහෙන්නයි” යයි ද හර්ෂිතා කීවාය.
වර්ෂාව හේතුවෙන් ප්‍රේමදාස තණතීරුවේ ලකුණු නැතැයි කිව නොහැකිය. දකුණු අප්‍රිකානු පිතිකාරිණියන් ලකුණු 312 ක් ලබාගත්තේ වර්ෂාව හේතුවෙන් ඕවර 40 කට සීමා වූ ඉනිමකිනි.
හර්ෂිතා සාමාන්‍යයෙන් පිට ඉන්න පැත්තෙන් එන පන්දුවලට හොඳින් මුහුණ දෙන්නියකි. කවර් ඩ්‍රයිව් පහරට කැමැත්තක් දක්වන වමත් පිතිකාරිණිය, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වැඩි වැඩියෙන් ස්වීප් පහරට යොමු වූවාය. බොහෝ අවස්ථාවලදී ඇයගේ ස්වීප් පහර ඇදීගියේ ෆයින් ලෙග් කලාපයෙනි.
“ඒ වෙලාවලදී මට හිතුණා ස්වීප් පහර තමයි හොඳම පහර කියලා. ම මබය නැතිව ඒ පහර ගැහැව්වා” යයි හර්ෂිතා කීවාය.
තරගයට පෙර කුමක් කීවද වැදගත් වන්නේ තරගයේදී ඒවා ක්‍රියාත්මක කරන ආකාරය සහ තරගයේ ප්‍රතිඵලයයි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෑත කාලයේදී අත්කරගත් පරාජයන්ට පසුව කාන්තා කණ්ඩායමට ආවැඩීමට බලා සිටි ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු එකින් එක වියැකී යමින් තිබේ. ඒවා නැවත දල්වාලිය හැක්කේ චමරි අතපත්තු සහ ඇයගේ පිරිවරටම පමණි.