
(දමින්ද විජේසූරිය)
කටාරයේදී පැවැත්වෙන නැගීඑන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින විජයකාන්ත් වියස්කාන්ත් පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබේ. ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ සිටින වනිඳු හසරංග පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වියස්කාන්ත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.
23 හැවිරිදි පා දඟ පන්දු යවන්නකු වන විජයකාන්ත් වියස්කාන්ත් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. එල්.පී.එල් (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලියේදී යාපනය ස්ටැලියන්ස් පිල නියෝජනය කළ වියස්කාන්ත්, අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ද නියෝජනය කර තිබේ.
විස්සයි-20 තරග සඳහාම යෝග්‍ය ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන වියස්කාන්ත්, 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත් නමුත් තවමත් සහභාගි වී ඇත්තේ එකම අන්තර්ජාතික තරගයකට පමණි. කටාරයේදී දැන් පැවැත්වෙන නැඟී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියේදී තරග 2 කට පමණක් සහභාගි වූ වියස්කාන්ත් ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති එක්දින තරගාවලියේදී පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංග තවමත් එයින් පූර්ණ සුවය ලබා නැති බැවින් විජයකාන්ත් වියස්කාන්ත් කටාරයේ සිට පාකිස්තානය බලා පිටත්ව යනු ඇත.
තුන්කොන් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි සංචිතය මේ වන විට වෙනස් වී තිබෙන අතර නායකත්වය දසුන් ශානකට හිමිවි තිබේ. චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම අසනීප වීම නිසා ආපසු ශ්‍රී ලංකාවට පැමිණි අතර පවන් රත්නායක ද විස්සයි-20 සංචිතයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙ පළමු තරගය බ්‍රහස්පතින්දා (20 වැනිදා) සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.