Last Update  :  2025-12-07 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ඕස්ට්‍රේලියාවට කඩුලු 8 ක ජයක්
අළු බඳුන 2025

ඕස්ට්‍රේලියාවට කඩුලු 8 ක ජයක්

editorial - 2025 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියානුවෝ 2025 අළුබඳුන තරගාවලියේදී 2-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති. දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වූ මෙම තරගයේදී ලකුණු 65 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්, එංගලන්ත වේග පන්දු යවන්නා වන ගස් ඇට්කින්සන්ගේ පන්දුවක්, මිඩ් විකට් කලාපයට ඉහළින් යවමින් තරගයේ ජයග්‍රහණය සටහන් කළේය. 

ඒ වන විටත් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමට ඇතුළත්ව තිබුණේ ඕවර 10 ක් පමණි. පර්ත් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් ඕස්ට්‍රේලියානුවන් විසින් එංගලන්ත කණ්ඩායම පාගා දමන ලදි. 

මුල් ඉනිමේදී ජෝ රූට් සහ සැක් ක්‍රෝලි දෙදෙනාත්, දෙවැනි ඉනිමේදී බෙන් ස්ටෝක්ස් සහ විල් ජැක්ස් දෙදෙනාත් හැරෙන්නට එංගලන්තයේ අනෙක් සියලුම පිතිකරුවෝ අසාර්ථක වූහ. තරමක ඉපිළීමකින් යුත් ගැබා තණතීරුවේදී එංගලන්ත පිතිකරුවෝ තමන්ගේ කඩුලු බන්දේසියක තබා ඕස්ට්‍රේලියානුවන්ට පූජා කළහ. 

එපමණක් නොව, ඉංග්‍රීසි පන්දු යවන්නෝ පන්දුව පිටියේ මැද අතහරිමින්, ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පහර දීමට ආරාධනා කළහ. විශේෂයෙන්ම රෝස පැහැති පන්දුව ඉතාමත් ඉක්මනින් වෙනස් වන බැවින්, එහි මුල් කොටසේදී පහසුවෙන් ලකුණු ලබාගැනීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලැබිණ.

ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රබලතම වේග පන්දු යවන්නන් වන ජොෂ් හේසල්වුඩ් සහ පැට් කමින්ස් දෙදෙනාම කණ්ඩායමේ නැතත්, මිචෙල් ස්ටාක්, මයිකල් නේසර් සහ ස්කොට් බෝලන්ඩ් ඇතුළු පන්දු යවන්නෝ තමන්ගේ වගකීම අකුරටම ඉටුකළහ. එංගලන්ත කණ්ඩායම දෙවරක් (කඩුලු 40 ක්) දවාගැනීම සඳහා ඔවුන් විසින් යවන ලද්දේ ඕවර 151 ක් පමණි. ඒ අතරවාරයේදී මිචෙල් ස්ටාක් (139/8) සහ මයිකල් නේසර් (85/6) දෙදෙනා එක්ව කඩුලු 14 ක් බෙදා ගත්හ. 

අනෙක් අතට ඕස්ට්‍රේලියානු මුල් ඉනිමේදී ඉංග්‍රීසි ක්‍රීඩකයන් විසින් උඩපන්දු 5 ක් බිම දමද්දී ඕස්ට්‍රේලියානුවෝ තමන් වෙත පැමිණි සෑම උඩපන්දුවක්ම සුරැකිව රැකගත්හ. එංගලන්ත මුල් ඉනිමේදී ගස් ඇට්කින්සන් දවාගැනීමට ඇලෙක්ස් කේරි රැකගත් උඩපන්දුවත්, දෙවැනි ඉනිමේදී විල් ජැක්ස් දවාගැනීමට ස්ලිප් හි සිටි ස්ටීවන් ස්මිත් සිය වම් පසට පනිමින් තනි අතින් ඩැහැගත් උඩපන්දුවත් ඕස්ට්‍රේලියානු පන්දු රැකීමේ විශිෂ්ටත්වයට සාක්කි කීවේය. 

තරගයේ ගමන් මග වෙනස් කළේ මුල් ඉනිමේදී ජොෂ් ඉංග්ලිෂ් විසින්, පන්දුව දමාගසමින් එංගලන්ත නායක බෙන් ස්ටෝස්ක් දවාගැනීමයි. 

තරගාවලියේ තවත් තරග තුනක් (ඇඩිලේඩ්, මෙල්බර්න් සහ සිඩ්නි ක්‍රීඩාංගණවලදී) ඉතිරිව ඇතත් මේ වතාවේදීත් අළු බඳුන හිමිකරගැනීමේ වැඩි අවස්ථාවක් ඕස්ට්‍රේලියානුවන්ට තිබේ. 
“ඇත්තටම කියනවා නම් මේක මහ විශාල බලාපොරොත්තු කඩවීමක්” 

“තරගය දෙපැත්තටම විවෘතව තිබුණු අවස්ථාවේදී අප වෙත එල්ල වූ පීඩනය හමුවේ කෙළින් හිටගැනීමට අපහසුවීම මේ කඩාවැටීමට හේතුවයි” යයි එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් පැවසීය. 

එංගලන්තය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 334 ක් ලබාගත්තේය. එහෙත් ඕස්ට්‍රේලියානු මුල් ඉනිමේදී කඩුලු 6 ක් ලකුණු 329 කට දවාගෙන තිබුණ නමුත් එතැන් සිට, අවසන් කඩුලු 4 වෙනුවෙන්, තවත් ලකුණු 182 ක් ලබාගැනීමට අවසර දුන් එංගලන්ත පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 177 ක මුල් ඉනිමේ වාසියක් තෑගි කළහ. 

දෙවැනි ඉනිමේදීත් කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලබා සිටි එංගලන්ත පිතිකරුවෝ, ලකුණු 38 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමි කරගත්හ. 

ඉංග්‍රීසි ක්‍රීඩකයන් ඉරිදා උදෑසනම පරාජය පිළිගනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ නමුත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බෙන් ස්ටෝක්ස් සහ විල් ජැක්ස් දෙදෙනා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙවැනි වතාවටත් පිටියට කැඳවූහ. මේ දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ ස්ටීවන් ස්මිත් විසින් රැකගන්නා ලද ඇදහිය නොහැකි උඩපන්දුවකිනි. 

මෙම උඩපන්දුවත් සමගින් රාහුල් ද්‍රාවිඩ් සතුව තිබූ ටෙස්ට් උඩපන්දු 210 ස්මිත් විසින් සමකරන ලදි. ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට ස්මිත්ට අවශ්‍ය වන්නේ තවත් උඩපන්දු 4 කි. එහි වත්මන් ලෝක වාර්තාව උඩපන්දු 213 ක් රැකගෙන සිටින ජෝ රූට් සතුව තිබේ. 


එංගලන්තය - පළමු ඉනිම 334 යි
ඕස්ට්‍රේලියාව  - පළමු ඉනිම 511 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 241 යි

(සැක් ක්‍රෝලි 44, බෙන් ඩකට් 15, ඔලී පෝප් 26, ජෝ රූට් 15, හැරී බෲක් 15, බෙන් ස්ටෝක්ස් 50, විල් ජැක්ස් 41, මිචෙල් ස්ටාක් 64/2, මයිකල් නේසර් 42/5, ස්කොට් බෝලන්ඩ් 47/2)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 2 ට 69 යි
(ට්‍රැවිස් හෙඩ් 22, ජේක් වෙදරල්ඩ් නොදැවී 17, ස්ටීවන් ස්මිත් නොදැවී 23, ගස් ඇට්කින්සන් 37/2)


- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.