Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 338 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 314 ක් පමණි. ඕවර 48 ක් අවසානයේ දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටියදී මන්දාලෝක තත්වය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවන් පියවර ගත් අතර නැවත තරගය ආරම්භ කෙරුණේ මිනිත්තු 10 කට පමණ පසුව එනම් පස්වරු 5.55 ටය.
නැවත තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානුවන්ට පන්දු 12 කදී ලකුණු 39 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් තරමක අන්දකාරයක් මධ්‍යයේ 49 වැනි ඕවරය යැවූ අමන්ජෝත් කෞර් සහ 50 වැනි ඕවරය යැවූ දීප්ති ශර්මා පිළිවෙළින් එම ඕවර දෙක ලකුණු 12 කට සහ ලකුණු 3 කට සීමා කරමින් තරගයේ ජය දකුණු අප්‍රිකානුවන්ගෙන් උදුරාගත්හ.
අගනා පිතිහරඹයන්හි නිරත වූ ඇනේරී ඩාර්ක්සන් පන්දු 80 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 81 ක්ද, නායිකා ච්ලෝයි ට්‍රියෝන් පන්දු 43 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 67 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යෑමට නොහැකි වූහ.
ලකුණු 89 කට කඩුලු 3 ක් දැවී ගොස් තිබියදී නන්දුමිසෝ ශැන්ගසේ (36) සමග එක්ව පන්දු 66 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණයේ බලපොරොත්තු ගෙන ඒමට ඩාර්ක්සන් සමත් විය. එහෙත් පැට්‍රිකා රාවල්ගේ පන්දුවක් හමුවේ හර්ලීන් ඩූල් අතට උඩ පන්දුවක් දෙමින් ශැන්ගසේ දැවී යෑමත් සමග එම බලාපොරොත්තු අඩ පණ විය.
ඉන් නොනැවතුණ ඩාර්ක්සන්, ලකුණු පුවරුව ලකුණු 188 කට කඩුලු 5 ක් ලෙස සටහන්ව තිබියදී නායිකා ට්‍රියෝන් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන්ද පන්දු 60 කදී ලකුණු 72 ක් එක් කළාය. කෙසේ වුවත් එම සම්බන්ධතාවද දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවූයේ අමන්ජෝත් කෞර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඩාර්ක්සන් දැවී යෑම හේතුවෙනි.
ඩාර්ක්සන් දැවී යෑමෙන් පසුවද උත්සාහයක අත් නොහළ දකුණු අප්‍රිකානු නායිකාව, 7 වැනි කඩුල්ල සඳහා නැඩින් ක්ලර්ක් (නොදැවී 22) සමග එක්ව පන්දු 24 කදී ලකුණු 51 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගුවාය. එහෙත් ජයග්‍රහණය සඳහා ලකුණු 27 ක් පසුපසින් සිටියදී අවසන් ඕවරයේ පළමු පන්දුවෙන්ම ඇය දැවී යෑමත් සමග දකුණු අප්‍රිකාවේ අවසන් බලාපොරොත්තුවද සුන්වී ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 7 ක්ව තිබියදී පළමු කඩුල්ල බිඳවැටුණද, ටැස්මින් බ්‍රිට්ස් (26) සහ මියේන් ස්මිට් (39) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී කඩුලු 63 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 54 කදී වාර්තා වූ ස්මිට්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 337 ක් ලබාගත්තේය. ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වූ ජෙමීමා රොඩ්‍රිගස් පන්දු 101 කදී ලකුණු 123 ක් රැස්කරමින් අගනා පිතිහරඹයක නිරත වූ අතර ඇගේ දෙවැනි එක්දින ශතකය වූ මෙය හයේ පහරක් සහ හතරේ පහර 15 කින් සමන්විත විය.
ලකුණු 50 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී ආරම්භක පිතිකාරිණී ස්මිත්‍රි මන්දනා (51) සමග එක්ව ඉන්දීය කාන්තා ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජෙමීමා ඉන්දීය ඉනිමට නව ජවයක් එක් කළාය. පන්දු 63 කදී ලබාගත් මන්දනාගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත වූ අතර අර්ධ ශතකය ලබාගත් විගස ඇය දැවී යෑමත් සමග සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය.
මන්දනාගේ දැවීයෑමෙන් පසුව දීප්ති ශර්මා (93) සමග එක්වූ ජෙමීමා, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු පන්දු 115 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියාය. එහිදී පන්දු 84 කට මුහුණ දෙමින් සිය 13 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් දීප්ති, හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් එය සැරසුවාය.
ඉන්දීය කාන්තා ඉනිමේ 5 වැනි කඩුල්ල බවට පත්වෙමින් මසබට ක්ලස්ගේ පන්දුවක් හමුවේ බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි සූන් ලූස් අතට උඩ පන්දුවක් දෙමින් ජෙමීමා පිටියෙන් ඉවත්ව ගියාය. ජමීමාගේ දැවී යෑමෙන් අනතුරුව පසුපෙළ පිතිකාරිණියන් සමග එක්වූ දීප්ති, ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දමමින් සිය කණඩායම 350 සීමාව ආසන්නයට රැගෙන ආවාය.
ඉන්දීය කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 337
(ස්මිත්‍රි මන්දනා 51, හර්මන්ප්‍රීත් කෞර් 28, ජෙමීමා රොඩ්‍රිගස් 123, දීප්ති ශර්මා 93, රීචා ඝෝෂ් 20, මසබට ක්ලාස් 51/2, නන්කුලුලෙකෝ ම්ලාබා 65/2)
දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 7 කට 314
(ටැස්මින් බ්‍රිට්ස් 26, මියේන් ස්මිට් 39, ඇනේරී ඩාර්ක්සන් 72, නන්දුමිසෝ ශැන්ගසේ 36, සිනාලෝ ජැෆ්ටා 21, ච්ලෝයි ට්‍රියෝන් 67, නැඩින් ක්ලර්ක් නොදැවී 22, අමන්ජෝත් කෞර් 47/3, දීප්ති ශර්මා 57/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.