Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක්

editorial - 2023 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද පූනේ නුවර එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේ සිට..)

ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් සිදු කරමින් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලකා කණ්ඩායම පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී හෙට (30 වැනිදා) පස්වරු 2.00 ට තරග බිමට පිවිසීමට නියමිතව ඇතැයි වාර්තා වේ. මේ වන විට ලකුණු අතරට පැමිණීමට අ‍පොහොසත් වී සිටින කුසල් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න එහිදී කණ්ඩායමට එක්වීමට නියමිත බව දැනගන්නට ලැබේ.

මෙම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ තරග 5 න් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී රැස්කළ ලකුණු 78 හැරුණුකොට සෙසු තරග 4 දීම ලකුණු 10 සීමාව පසුකර යෑමට කුසල් අසමත් විය. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 7, 0, 78, 5 සහ 4 ක් ලෙසිනි. අවසන් තරග 4 දීම සෙසු ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංක අර්ධ ශතක ලබාගත්තද, ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීම සඳහා ඔහුට සහාය දැක්වීමට කුසල්ට ‍නොහැකි විය.

මේ හේතුවෙන් කණ්ඩායම සතුව සිටින අතිරේක ආරම්භක පිතිකරුවා වන දිමුත් කරුණාරත්නට අවස්ථාවක් ලබාදීම කෙරෙහි කණ්ඩායමේ කලමණාකාරත්වයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව බොහෝ දුරට ඇෆ්ඝනිස්ථාන තරගයේදී පැතුම් සමගින් දිමුත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇතැයි කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

“උරහිසේ ආබාධ තත්වයකින් සුවය ලබලා සෑහෙන කාලෙකින් තමයි කුසල් යළිත් ක්‍රීඩා කරන්න ආවේ. අපි දන්නවා එයා මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා. ඒ නිසා ඔහුට සුපුරුදු ක්‍රීඩා විලාශයෙන් ක්‍රීඩා කරන්න අපි ඔහුට නිදහස දීලා තිබුණා. ඒ වගේම ඔහුට කරන්න යම් කාර්යයක් පැවරිලා තිබුණා. ඒත් අපි බලාපොරොත්තු වුණ තරම් දෙයක් මේ තරගාවලියෙදි එයාගෙන් ලැබුණේ නෑ.”

“දිමුත් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙදි ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. දැනට ඔහු අතිරේක ආරම්භක පිතිකරුවෙක් විදියට සංචිතයේ ඉන්නවා. කුසල්ගේ අසාර්ථකත්වයත් එක්ක මේ තරගෙදි දිමුත්ව කණ්ඩායමට ගේන්න තේරීම් කමිටුව අවධානය යොමුකරමින් ඉන්නවා.” යැයි කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා තරගයට පෙර දින පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේය.

මේ අතර මින් පෙර ක්‍රීඩා කළ එංගලන්ත තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් වේග පන්දු යවන්නන් තිදෙ‍නෙක් සහ දඟ පන්දු යවන්නෙක් සමගින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ලැබේ. එබැවින් ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත් වූ ළහිරු කුමාර වෙනුවට සංචිතයට එක්වූ දුෂ්මන්ත චමීර මෙම තරගයට ක්‍රීඩා කීරීම සඳහා සූදානමින් සිටියි.

එ‍සේ වුවහොත් මෙම වසරේ ජූනි මාසයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව චමීර ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගය මෙය වනු ඇත. ඒ අනුව ‍මාස 4 කට පමණ පසුව යළිත් ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන චමීර කෙරෙහි මෙම තරග‍යේදී වැඩි දෙනකුගේ අවධානය යොමුවනු ඇත.

“ඊයෙ තිබුණු පුහුණු සැසියෙදි පන්දු යවනකොට ළහිරුගෙ වම් කකුලේ මාංශ පේෂිවල ආබාධයක් මතුවුණා. එවෙල එයාට පන්දු යවන්න අපහසුතාවක් ඇති වුණා. ඒ නිසා අපි ඊයෙ හවස එයාව ස්කෑන් පරීක්ෂණයකට යොමු කළා. ඒකෙදි දැනගන්න ලැබුණා මාංශ පේෂිවල ඉරීමක් සිදුවෙලා තියෙනවා කියලා. නැවතත් එයා යතා තත්වයට එන්න සති 3 ක් විතර යාවි.”‍ යැයි නවාස් මහතා පැවසීය.

ළහිරු වෙනුවට කණ්ඩායමට කැඳවීමට නියමිත දුෂ්මන්ත චමීර මේ දක්වා එක්දින තරග 44 කදී කඩුලු 50 ක් බිඳහෙළා ඇති අතර එහි සාමාන්‍ය 33.16 ක අගයක් ගනී. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ 2021 වසරේ මැයි මස මීර්පූර්හිදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගැනීමය. ඔහු එක්දින පිටියේදී කඩුලු 5 ක් දවාගෙන ඇති එකම අවස්ථාවද එය වේ.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්දින ජාත්‍යන්තර තරග 11 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 7 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඇෆ්ඝනිස්ථානය ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්වී තිබේ. කෙසේ වුවත් අවසන් වරට තරග වැදුණු අවස්ථා 5 න් 4 කදීම ඇෆ්ඝනිස්ථානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

“පහුගිය කාලෙ අපි ඇෆ්ඝනිස්ථානෙ එක්ක තරග කිහිපපයක්ම ක්‍රීඩා කළා. ඒ නිසා කණ්ඩායම් දෙකම එකිනෙකා ගැන හොඳින් දන්නවා. මේ තරගයෙ ජය පැරදුම තීරණය වෙන්නෙ එදා දවසෙදි අපි ක්‍රීඩා කරන විදිය අනුවයි. මේ තණතිල්ලෙ නම් හුඟක් ලකුණු තියෙනවා කියලා මම හිතනවා. අංශ තුනෙන්ම වැරදි අඩු කරගෙන ක්‍රීඩා කළොත් අපිට මේ තරගය ජයගන්න හොඳ අවස්ථාවක් තියෙනවා.” යැයිද නවාස් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර නවසීලන්තයේ ඩුනෙඩින් නුවරදී පැවැති 2015 ලෝක කුසලාන තරගයේ මෙන්ම එංගලන්තයේ කාඩිෆ් නුවරදී පැවැති 2019 ලෝක කුසලාන තරග‍යේද ජයග්‍රහණය හිමි ඇත්තේ ශ්‍රී ලංකාවටය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින ලෝක කුසලාන තරගය මෙයයි.

 

ශ්‍රී ලංකාව 
කුසල් මෙන්ඩිස් (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් ජනිත්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, දිල්ෂාන් මධුෂංක සහ දුෂ්මන්ත චමීර

ඇෆ්ඝනිස්ථානය 
හෂ්මතුල්ලා ශහිදි (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහිම් සද්‍රාන්, රාමට් ෂා, අස්මතුල්ලා ඔමර්සායි, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, නවීන් උල්හක්, නූර් අහමඩ්, ෆසාල්හක් ෆරූකි, රියාස් හසන්, අබ්දුල් රහමන් සහ නජිබුල්ලා සද්‍රාන්  

 


අදහස් (0)

ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.