
පිට පිටම තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු පිලට එරෙහිව අද (27 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 06 ක ජයක් අත්කර ගනිමින් රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. තරගාවලියේ අවසන් මහ තරගය 29 වැනිදා (සෙනසුරාදා) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙයි.
අස්ථානගතව තිබූ පිතිහරඹය යළි සොයාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්තේය. ලකුණු 185 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිලට ඕවර 20 ක් නිමාවේදී ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 178 කි.
පාකිස්තානු පිලට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවර දෙකේදී ලකුණු 22 ක් අවශ්‍යව තිබිණ. එෂාන් මාලිංග යැවූ 19 වැනි ඕවරයේදී ලකුණු 12 ක් ලබාගත් ෆාහිම් අශ්රෆ් සහ සල්මන් අඝා අවසන් ඕවරයේදී ලකුණු 10 ක ඉලක්කයක් සකස්කර ගත්හ. එහෙත් දුෂ්මන්ත චමීර යැවූ අවසන් ඕවරයේදී ෆාහිම් අශ්රෆ් දැවී ගිය අතර චමීර සිය ඕවරය ලකුණු 3 කට සීමාකර ගත්තේය. තම ඕවර 4 ලකුණු 20 කට සීමාකරගත් වේග පන්දු යවන්නා කඩුලු 4 ක් ද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.
ආරම්භක පිතිකරු කමිල් මිෂාර විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින්, පන්දු 48 කදී ලකුණු 76 ක් ලබාගත් අතර ඔහුගේ චිත්තාකර්ශනීය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
කමිල් මිෂාර ලකුණු 67 ක් ලබා සිටියදී දුන් පහසු උඩපන්දුවක් පාකිස්තානු නායක සල්මන් අලි අඝා අතින් ගිළිහී ගිය අතර පසුපස නොබැලූ වමත් පිතිකරුවා, ඊළඟ ඕවරයේදී සිය ආස්ථානය නොපිට හරවමින් ‘රිවර්ස් පුල් පහරක්’ ගැසූ මිෂාර එයින් ලකුණු 6 ක් ලබාගත්තේය.
ආරම්භයේ සිටම සැලසුමක් ඇතිව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රාහාරාත්මක ඕවර 6 න් ලකුණු 58 ක් ලබාගත් අතර 10 වැනි ඕවරය නිමාවන විට ලකුණු 93 ක් පුවරුවට එකතු කළහ. ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ශ්‍රී ලාංකිකයන් ලකුණු 40 ක් ලබාගත් නමුත් ඒ අතරවාරයේදී පාකිස්තානුවන්ට දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර 4 දී ලකුණු ලබාගත් අකාරය සටහන් වූයේ 9, 7, 11 සහ 13 ක් ලෙසිනි. පාකිස්තානු ඉනිමේ අවසන් ඕවර 4 දී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 12, 14, 12 ක් සහ 3 ක් ලෙසිනි. එහෙත් අවසන් ඕවරය යැවූ දුෂ්මන්ත චමීර තරගයේ වාසිය තමන් වෙත ඇදගත්තේය. 
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.