Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඬේවිඞ් ලූයිස් (වමේ) සහ මාසෙලෝ
ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ තීරණාත්මක කඩඉම වන අවසන් පූර්ව තරග වටය අඟහරුවාදා රාත‍්‍රියේ ආරම්භ වේ. ලෝක පාපන්දු පිටියේ ප‍්‍රබලතම කණ්ඩායම් දෙකක් වන බ‍්‍රසීලය හා ජර්මනිය අතර පළමු අවසන් පූර්ව තරගය බදාදා ශ‍්‍රී ලංකා වේලාවෙන් අලූයම 1.30ට ඇරැඹෙන අතර එය මෙවර තරගමාලාවේ වඩාත්ම උණුසුම් තරගය බවට පත්වනු ඇතැයි ලෝක පාපන්දු විචාරකයෝ අනාවැකි පළ කරති.
මේ දක්වා පාපන්දු ලෝක කුසලාන 5 කට හිමිකම් කියන බ‍්‍රසීලය 6 වැනි වරටත් ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. මෙවර අවසන් පූර්ව තරගය ඔවුන්ට අතිශය වැදගත් වන්නේ සිය භූමියේ දී ලෝක කුසලානය දිනා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොලැබීම නිසාය.
මීට පෙර ලෝක කුසලාන පාපන්දු තරගමාලාව බ‍්‍රසීලයේ පැවැත්වූ එකම අවස්ථාව වන්නේ 1950 දීය. එවර ලෝක පාපන්දු කුසලානය උරුගුවේ පිලට හිමිවිය. එබැවින් අඟහරුවාදා පැවැත්වෙන තරගයේ දී ජර්මනියට වඩා වැඩි පීඩනයක් ඇත්තේ බ‍්‍රසිලය හමුවේය. මවුබිමේ දී පැවැත්වෙන බැවින් සිය අභිමානය රැක ගැනීමේ බරපතල අභියෝගයට මුහුණ දීමට ද ඔවුන්ට සිදුවී තිබේ.
අනික් අතට කොලොම්බියාව සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගය අතරතුර දී අනපේක්ෂිත ආබාධයකට ලක්වූ බ‍්‍රසීලයේ සුපිරි ක‍්‍රීඩක නේමර්ට තරගමාලාව අහිමිවීමෙන් බ‍්‍රසීල කණ්ඩායම මෙන්ම එරට ක‍්‍රීඩාලෝලීහූ ද පසුවන්නේ දැඩි කණගාටුවකි. ඊට අමතරව බ‍්‍රසීලයේ ප‍්‍රබල ක‍්‍රීඩක තියාගෝ සිල්වාට කොලොම්බියාව සමග පැවැති තරගයේ දී දෙවැනි වරටත් කහ කාඞ් පතෙන් දඬුවම් විඳීමට සිදුවීමෙන් ඔහුට ද ජර්මනිය සමග පැවැත්වෙන තරගය අහිමිවී තිබේ.
එබැවින් ලතින් අමෙරිකානු ආධිපත්‍යය බිඳ දමා මෙවර ලෝක පාපන්දු කුසලානය යුරෝපයට රැගෙන යාමේ අදිටනින් පසුවන ජර්මනිය සිය ක‍්‍රීඩා රටාව මුවහත් කරගනිමින් වැඩි උනන්දුවකින් යුතුව තරගයට අවතීර්ණ වනු ඇත.
බර්ලින් තාප්පය බිඳ දමා ජර්මනිය එක්සේසත් කිරීමෙන් පසුව මේ දක්වා ලෝක පාපන්දු කුසලානයට ඔවුන් අත තබා නැත. අවසන් වරට ජර්මානුවන් ලෝක පාපන්දු කුසලානයේ ජයග‍්‍රහණය සැමරුවේ 1990දීය. එවර බටහිර ජර්මනිය ඔවුන්ට ඒ ගෞරවය ගෙන දුන්නේය. එබැවින් අඟහරුවාදා පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම ඔවුන්ගේ එකම අදිටන වී තිබේ.
බ‍්‍රසීලයේ නෙමර් සහ ජර්මනියේ තෝමස් මුලර් මෙවර තරගමාලාවේ දෙපිලේම කැපී පෙනෙන ක‍්‍රීඩකයන් බවට පත්ව සිටිති. එහෙත් නේමර්ගේ අනපේක්ෂිත නික්ම යාමෙන් පසුව ඒ ස්ථානයට පත්ව සිටින්නේ ඬේවිඞ් ලූයිස් සහ මාසෙලෝය.
කෙසේ වෙතත් ජර්මනියට ඔවුන්ගේ අත්දැකීම් බහුල ප‍්‍රබල ක‍්‍රීඩකයන් දෙපල වන තෝමස් මුලර් සහ මිරස්ලොව් ක්ලෝස් යන දෙදෙනාම සිටිති. ඒ හැරුණු විට මැට්ස් හමල්ස් ද තීරණාත්මක අවස්ථාවල ජර්මනිය ගොඩ දැමීමට සමත්වූ ක‍්‍රීඩකයෙකි. එබැවින් මේ තරගයේ දී තර්කයේ වාසිය ජර්මනියටත් ක‍්‍රීඩාංගණයේ වැඩි වාසිය බ‍්‍රසීලයටත් හිමිවී ඇතැයි විචාරකයෝ කියති.
ජර්මනිය හා බ‍්‍රසීලය මීට පෙර අවස්ථා 21ක දී මුහුණට මුහුණ තරගවැදී ඇති අතර ඉන් තරග 12ක ජය බ‍්‍රසීලයටත්, තරග 4ක ජය ජර්මනියටත් හිමිවී තිබේ. ඉතිරි තරග පහම ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.
ලෝක කුසලාන පාපන්දු තරගමාලා ඉතිහාසයේ අවසන් පූර්ව වටයට බ‍්‍රසීලය පැමිණි 11 වැනි වතාව මෙය වේ. ජර්මනිය අවසන් පූර්ව තරග වට 13කට පැමිණ තිබේ. නමුත් දෙපිල මෙතෙක් ලෝක කුසලාන පාපන්දු තරගයක එකිනෙකා හමුවී ඇත්තේ එක් වතාවක දී පමණි. ඒ බ‍්‍රසීලය ශූරතාව දිනූ 2002 වසරේ තරගමාලාවේදීය. එවර බ‍්‍රසීලය ජයගත්තේ ගෝල් 2-0 කිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.