Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features සරදම් දුර දිගට ඇදෙන ටෙස්ට් තරගාවලිය ඇරඹේ
ටෙස්ට් තරගාවලිය

සරදම් දුර දිගට ඇදෙන ටෙස්ට් තරගාවලිය ඇරඹේ

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

විස්සයි-20 තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කළ සරදමට නොදෙවෙනි සරදමක් එක්දින තරගාවලිය ජයගැනීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමද කළේය. දැන් දෙපිලම එකට එක කර හමාර යැයි යමෙක් සිතුවද එය එසේ නොවන බව පසක් වූයේ අද (22 වැනිදා) සිල්හෙට් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී නායක ධනංජය ද සිල්වා දැක්වූ අදහස් හේතුවෙනි. 

එහිදී ටෙස්ට් තරගාවලිය ජයගත හොත් තවදුරටත් ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග එකට එක කරනවා දැයි බංග්ලාදේශ මාධ්‍යවේදීයකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නායකයා කියා සිටියේ “එය තරගාවලිය නිමාවීමෙන් පසුව බලමු.” කියාය. එය ඍජු පිළිතුරක් නොවුවත්, තමන් ඇතුළු කණ්ඩායම ටෙස්ට් තරගාවලිය ජය ලැබුවහොත් එකට එක කිරීම නිමා කරනා බවක් නම් එහි ගැබ්වී නොතිබිණ. 

මින් වසර 2 කට පමණ පෙර එනම් 2022 වසරේ මැයි මාසයේ බංග්ලාදේශයේදී ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වී නොමැත. අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලිය 1-0 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ දෙවැනි තරගයේදී කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුවය. 

මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරග 24 ක් පවත්වා තිබෙන අතර ඉන් 18 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී, බංග්ලාදේශය ජයගෙන ඇත්තේ 2017 වසරේ මාර්තු මාසයේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගය පමණි. සෙසු තරග 5 ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව තිබේ.  

ශ්‍රී ලංකා විස්සයි-20 සහ එක්දින කණ්ඩායම් සමග සංසන්ධනය කිරීමේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වඩාත් අත්දැකීම් බහුල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම ලොව ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් වැනි පසුගිය කාල වකවානුව තුළ ටෙස්ට් තරගවලිදී පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ද කණ්ඩායමට ඇතුළත් වීම ඊට හේතු ලෙස දැක්විය හැකිය. 

ඒ බව තවදුරටත් සනාථ කරමින් ධනංජය කියා සිටියේ ජ්‍යෙෂ්ඨයන්ගේ පැමිණීම කණ්ඩායමේ ශක්තිය වර්ධනය කරන්නක් බවත්, ඕනෑම කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිටිම තරුණ ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ යෑමට ඍජුවම හේතුවන බවත්ය. ධනංජය ද ඇතුළුව අද තරගයට ක්‍රීඩා කරන පිතිකරුවන් 7 දෙනාගෙන් පස්දෙනකුම ටෙස්ට් තරග 50 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති අය වීමද පිතිකරු බළෑණිය ශක්තිමත් වීමට තවත් හේතුවක් වනු ඇත.

අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව නැඟුණු පැනයකට පිළිතුරු දෙමින් නායකයා කියා සිටියේ සිල්හෙට් තණතීරුවේ වැඩි වශයෙන් කොළ පැහැති බවක් දක්නට තිබුණද, අවසන් වරට ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා යොදා ගත් පිතිකරුවන් 7 ක් සහ පන්දු යවන්නන් 4 ක් යන සංයුතිය මෙම තරගය සඳහාද යොදාගැනීමට බලාපොරොත්තු වන බවය. 

එක්දින තරගාවලිය පුරා ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක් වූ මැද පෙළ පිතිකරු මුෂ්ෆිකුර් රහීම් එම තරගාවලිය තුළදී ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර විස්සයි-20 සහ එක්දින තරගාවලි සඳහා සහභාගි නොවූ බංග්ලොදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියෙන්ද ඉවත්ව සිටියි. 


අදහස් (0)

සරදම් දුර දිගට ඇදෙන ටෙස්ට් තරගාවලිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.