Last Update  :  2025-10-16 23:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්
කාන්තා ලෝක කුසලාන 2025

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

editorial - 2025 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් දෙකකට එරෙහිව ප්‍රසාද ලකුණක් බැගින් හිමිකරගත් චමරි අතපත්තුගේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ සිහිනය තවමත් අතහැර දමා නැත. මූලික වටයේ තවත් තරග 3 ක් ඉතිරිව තිබෙන බැවින් ඉතිරි තරග සියල්ලම ජයගනිමින් අවසන් පූර්ව වටයට පැනගැනීම ඇයගේ අපේක්‍ෂාවයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය හෙට (සිකුරාදා) දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

ප්‍රසාද ලකුණු 2 ක් පමණක් අතැතිව, මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වැනි ස්ථානයට වැටී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉතිරි තරග තුනම ජයගැනීමට හැකිවේ නම් ප්‍රසාද ලකුණු 08 ක් ලබාගත හැකිය. එහෙත් හරහට ඇත්තේ කාලගුණයයි. 

ශ්‍රී ලංකා කාන්තාවන්ට ඉතිරිව ඇති තරග තුනෙන් දකුණු අප්‍රිකානු සහ පාකිස්තානු කණ්ඩායම් වලට එරෙහි තරග දෙකම කොළඹදී පැවැත්වෙන අතර බංග්ලාදේශය එරෙහි තරගය මුම්බායි නුවර ඩී.වයි. පතෙල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

නවසීලන්තයට එරෙහිව 14 වැනිදා පැවැති තරගය වර්ෂාවට සේදී ගිය නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී ඉතාමත් සාර්ථක පිතිහරඹයක නිරත වූහ. විශ්මි ගුණරත්න ආරම්භක පිතිකාරිණියක් ලෙසින් යොදවාගැනීම සාර්ථක වූ නමුත් ඇයගෙන් ඊට වඩා ලකුණු සංඛ්‍යාවක් අපේක්‍ෂා කළ යුතුව තිබිණ. නවසීලන්තයට එරෙහි තරගයේදී විශ්මි ලකුණු 42 ක් ලබාගත් නමුත් ඒ වෙනුවෙන් පන්දු 83 කට මුහුණ දුන්නාය. 

අඟහරුවාදා (14 වැනිදා) පැවැති තරගයේදී විශ්මි මුහුණ දුන් පන්දු 83 න් පන්දු 52 ක් නිලකුණු පන්දු විය. චමරි අතපත්තු මුහුණ දුන් පන්දු 72 න් පන්දු 41 ක් නිලකුණු පන්දු විය. එක්දින තරගයකදී පළමු ඕවර 10 ඇතුළත, ක්‍රීඩිකාවන් දෙදෙනකු පමණක් යාර 30 වලල්ලට එපිටින් සිටියදී, ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා පන්දු 93 ක් අපතේ යැවීම අපරාදයකි. 

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තාවන් ලකුණු 258 ක් ලබාගත් බව සැබෑවකි. එහෙත් ඇත්ත තත්ත්වය විග්‍රහ කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 165 ක් අපතේ යවා තිබිණ. එය ඔවුන් මුහුණ දුන් සම්පූර්ණ පන්දු සංඛ්‍යාවෙන් 55% කි.  ලෝක කුසලාන තරගාවලියකදී එවන් තත්ත්වයක් අතිශය අවාසිදායක බව කිවයුතු නොවේ. මක්නිසාද යත් මෙම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේදී ජයග්‍රහණය සඳහා හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මෙන්ම ශුද්ධ ලකුණු වේගයද තීරණාත්මක සාධකයක් වන බැවිනි. 

“ස්ථිර වශයෙන්ම ඊළඟ තරගය (දකුණු අප්‍රිකාවට එරෙහිව) අපට ඉතාමත් වැදගත්. මොකද අවසන් පූර්ව වටයට එන්න නම්, අපි ඊළඟ තරග තුනම දිනන්න වෙනවා” 

“කොහොම වුණත් ඊළඟ තරගයට ඉස්සරවෙලා අපි දියුණු කරගත යුතු අංශ කිහිපයක් තියෙනවා. අපි ඒ ගැන අවධානය යොමු කරලයි තියෙන්නේ... මම හිතනවා අපිට වැස්සෙන් බාධාවක් නැතිව ඊළඟ තරගය සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා” යයි ශ්‍රී ලංකා නායිකාව පැවසුවාය. 

විශ්මි ගුණරත්න ඇයගේ සුපුරුදු ස්ථානයට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට සහනයක් වී තිබේ. මන්ද පළමු තරග දෙකේදීම අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ විශ්මි ලබාගත්තේ ලකුණු 10 ක් සහ 11 ක් බැවිනි. 

“එයා තමයි අපේ අංක එකේ ආරම්භක පිතිකාරිණිය. ඒත් පසුගිය මාස 6 ක විතර කාලයේදී එයා ආරම්භක පිතිකාරිණියක් වශයෙන් අසාර්ථක වුණා.... ඒ හින්දා තමයි එයාව අංක 4 ට ගෙනිච්චේ. ඒත් අපි ඒ ගැන විශ්මි එක්තත් කතා කරලා, එයාව නැවතත් ආරම්භක පිතිකාරිණියගේ තැනට ගෙනාවා” යයි ද අතපත්තු කීවාය. 

ශ්‍රී ලංකා නායිකාව කියන්නේ නවසීලන්ත ක්‍රීඩිකාවන් හමුවේ ලබාගත් ලකුණු 258 මීළඟ තරගයේදී වඩාත් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට තමන්ට හොඳ පන්නරයක් වන බවයි. 
නිලක්‍ෂිකා සිල්වා නිදහසේ සිය පහර කරා යන පිතිකාරිණියකි. ඇය නවසීලන්තයට එරෙහිව ලබාගත්තේ මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයයි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල පිතිකාරිණියන් වන ලෝරා වූල්වර්ත් සහ නඩීන් ඩි’ක්ලර්ක් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තවමත් යහමින් ලකුණු ලබාගෙන නැත. එබැවින් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රවේසම් වියයුතුවාක් මෙන්ම වමතින් දඟ පන්දු යවන නොන්කුලුලේකෝ ම්ලාබා කරදරකාරියක් වීමටත් ඉඩ තිබේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.