Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ගෙදරදීම විඳගත් පරාජයේ වේදනාව

ගෙදරදීම විඳගත් පරාජයේ වේදනාව

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන් සත්කාරකත්වය දැරූ 2012 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී අජන්ත මෙන්ඩිස්ගේ (08/6) වාර්තාගත පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්මාබ්වේ පිලට එරෙහිව ලකුණු 82 ක පහසු ජයක් ලැබීය. එහෙත් මූලික වටයේ දෙවැනි තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 32 කින් පරාජයට පත් විය.

 

   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය
   වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට
   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි
   ඩිල් ස්කූප් පහරේ උපත
  හේරත් වමතින් නවසීලන්තයම කරකවයි
   මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි
   අපරාජිත කණ්ඩායමක බලාපොරොත්තු කඩවීම

කෙසේ වුවත් සුපිරි අට දෙනාගේ වටයේදී පිළිවෙලින් නවසීලන්තය (සුපිරි ඕවරයේදී), බටහිර ඉන්දීය කොදෙව් පිල (කඩුලු 9 කින්) සහ එංගලන්තය (ලකුණු 19 කින්) පරාජය කළ ශ්‍රී ලංකාව, පළමු කාණ්ඩායේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ පාකිස්තානය අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පත්විය.

එංගලන්තයේ පැවැති 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, 2012 අවසන් පූර්ව තරගයේදී එම පරාජයේ වාඩුව ගත්තේ පාකිස්තානයට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කරමිනි. අනෙක් අවසන් පූර්ව තරගයේදී ලකුණු 74 කින් ප්‍රබල ඕස්ට්‍රේලියාව පරාජය කළ කොදෙව්වෝ අවසන් මහ තර‍ගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදීමට අවස්ථාව උදාකර ගත්හ.

සුපිරි 8 දෙනාගේ වටයේදී කොදෙව්වන් පරාජය කර තිබීම අවසන් මහ තරගයට පිවිසීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට යම් උත්තේජනයක් ගෙන දුන්නද, දිගින් දිගටම ලකුණු අතර සිටි මාලන් සැමුවෙල්ස් දවාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් උපක්‍රම සෙවීමට සිදුවිය. සුපිරි 8 දෙනාගේ වටයේදීද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොබියව මුහුණදුන් සැමුවෙල්ස්, පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් ලබා ගැනීමද ඊට බෙහෙවින්ම බලපෑවේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ‍ඩැරන් සැමී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහෙත් ලකුණු 14 ක් තුළ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීමත් සමග තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතු විය.

කෙ‍ාදෙව් ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක්වීමට පෙරාතුව පළමු ඕවරයයේදීම ජොන්සන් චාල්ස් දවාගත් ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු 3 ක් ලබා සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත් අජන්ත මෙන්ඩිස් කොදෙව් කණ්ඩායමේ පීඩනය තවත් වැඩි කළේය.

ඉන් අනතුරුව ඩ්වේන් බ්‍රාවෝ (19) සමග එක්වූ මාලන් සැමුවෙල්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොනඩනගමින් කෙමෙන් කෙමෙන් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 14 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී බ්‍රාවෝ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත් අජන්ත මෙන්ඩිස්, 16 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී කිරන් පොලාඩ් (2) සහ ඔන්ඩ්‍රි රසල් (0) පිටියෙන් ඉවත් කරමින් කොදෙව් කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල ‍කළේය.

සෙසු පිතිකරුවන් එකා පසුපස දැවී යද්දී එක් අන්තයක් රැගෙන පන්දුවට පහරදුන් සැමුවෙල්ස්, තමා දවාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රියාත්මක කළ උපක්‍රම එකින් එක විනාශ කර දැමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සංග්‍රහ කරමිනි. අකිල ධනංජය විසින් යවන ලද 18 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ජීවන් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඔහු පන්දු 56 කදී ලකුණු 78 ක් රැස්කරගෙන සිටියේය.

අවසන් ඕවර කිහි‍පයේදී පන්දු 15 කට මුහුණදුන් නායක ඩැරන් සැමී එහිදි හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායම තරගයක් දිය හැකි මට්ටමට රැගෙන ආවේය. එහිදී ලසිත් මාලිංග කොදෙව් පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර සිය ඕවර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 54 ක් ලබාදුන්නද, එහිදී කඩුල්ලක් දවාගැනීමට ඔහු අපොහොසත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට රවි රාම්පාල් සමත් විය. ‍ඉන් අනතුරුව නායක මහේල ජයවර්ධන (33) සමග එක්වූ කුමාර් සංගක්කාර (22) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය.   

එහෙත් සංගක්කරගේ දැවීයෑමත් සමග ඕවර 9.3 ක් අවසා‍නයේ ලකුණු 48 කට කඩුලු 2 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 14.3 වන විට ලකුණු 69 කට කඩුලු 7 ක් බවට පත් කිරීමට සමත් වූ කොදෙව් පන්දු යවන්නෝ තරගයේ වැඩි වාසි තම කණ්ඩායම දෙසට හරවා ගත්හ. එම ඕවර 5 ක් තුළදී ඇන්‍ජලෝ මැතිව්ස් (1), ජීවන් මෙන්ඩිස් (3), තිසර පෙරේරා (3) සහ ළහිරු තිරිමාන්නද (4) ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා ගිය අතර සුනිල් නරේන්ගේ පන්දුවක් හමු‍වේ ඩැරන් සැමී අතට උඩ පන්දුවක් දෙමින් මහේලද දැවී ගියේය.   

විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ සුනිල් නරේන් ඕවර 3.4 ක් යවමින් ලකුණු 9 කට කඩුලු 3 ක් දවාගත් අතර කොදෙව් ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඩැරන් සැමී ලකුණු 6 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය. ඒ අනුව ඕවර 18.4 ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 101 කට සීමා කළ කොදෙව්වෝ 2012 විස්සයි20 ලෝක කුසලාන තමන් සතු කරගනිද්දී, ශ්‍රී ලංකාවට දෙවැනි වරටත් අනු ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.‍

 

බටහිර ඉන්දීය කෙ‍ාදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 137
(මාලන් සැමුවෙල්ස් 78, ඩ්වේන් බ්‍රාවෝ 19, ඩැරන් සැමී නොදැවී 26, අජන්ත මෙන්ඩිස් 12/4)

ශ්‍රී ලංකාව - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී 101
(මහේල ජයවර්ධන 33, කුමාර් සංගක්කාර 22, නුවන් කුලසේකර 26, සුනිල් නරේන් 09/3, ඩැරන් සැමී 06/2)

සැකසුම - ශානුක අරවින්ද


අදහස් (0)

ගෙදරදීම විඳගත් පරාජයේ වේදනාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.