(ෂේන් සෙනෙවිරත්න)ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින නවසීලන්ත කිලෝග්‍රෑම් 85 බරපන්තියේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පවත්වනු ලබන දෙවැනි තරගය මැයි මස 03 වැනි ඉරිදා නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව කන්ද උඩරට රග්බි ලෝලීන්ගේ දෑස ඉදිරිපිට නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ සාම්ප්‍රදායික හකා නර්තනය නිත්තවෙල ක්‍රීඩා පිටියේදී නැවතත් රඟදෙනු ඇත.
මෙරට රග්බි ක්‍රීඩා පිටියක ප්‍රථම වතාවට එම නවසීලන්යේ සාම්ප්‍රදායික හකා නර්තනය රඟ දක්වනු ලැබුවේද පසුගිය වසරේ නිත්තවල ක්‍රීඩා පිටියේදී වන අතර තරඟ දෙකකින් සමන්විත එම තරගාවලියේ ප්‍රථම තරඟය නිත්තවෙල ක්‍රීඩාපිටියේදී පැවැති බැවින් කන්ද උඩරට රග්බි ලෝලීන්ට ප්‍රථමවතාවට එය දැක බලා ගැනීමේ අවස්ථාව උදාවිය.
මෙවර සංචාරයේදී ඔවුන්ගේ පළමු තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි.
තරඟයට මුහුණදෙන නවසීලන්ත රග්බි කණ්ඩායම බදාදා (29) මහනුවරට සම්ප්‍රාප්ත වූ අතර ඔවුන් මහනුවර ප්‍රධානපෙලේ හෝටලයක නැවතී සිටිමින් පල්ලෙකැලේ ත්‍රිත්ව රග්බි ක්‍රීඩාංගණයේදී දෛනික පුහුණු සැසි කිහිපයකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සිකුරාදා (01) මහනුවරට ළඟා වීමට නියමිතව සිටි අතර ඔවුන් නිත්තවෙල ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පුහුණු සැසි සහභාගි වීමට නියමිතය.
කොළඹ දේශගුණයට වඩා මහනුවර දේශගුණය මේ වන විට තරමක ශීත මට්ටමක පවතින බැවින් එහි වාසිය ද උපයෝගී කර ගනිමින් නවසීලන්ත ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිලට ප්‍රබල ප්‍රබල තර්ජනයක් එල්ල කළ හැකි වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රතිවාදීන්ට දඬුවම් පහර පරිත්‍යාග නොකර නවසීලන්ත ක්‍රීඩකයන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළහොත් තරඟයේ වාසිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත හරවා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
මෙම තරගයේ සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබෙන අතර ක්‍රීඩා පිටිය තුළ පමණක් පොලිස් නිලධාරීන් නිලධාරීන් 150 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරියේ යෙදවෙන අතර තවත් පොලිස් නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් ක්‍රීඩා පිටියෙන් පිටත රාජකාරියේ යෙදවෙන බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම තරඟය රබිලෝලීන්ට නොමිලයේ දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවන අතර තරඟය පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩා පිටිය තුළට කඩා වැදීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පවසන පොලිසිය තරඟය නැරඹීමට පැමිණීමේදී නිත්තවල බිංගයෙන් උඩට වාහන ඇතුල් කිරීමෙන් හැකිතාක් දුරට වළකින ලෙස පොලිසිය ක්‍රීඩා ලෝලීන්ට දැනුම් දෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.