Last Update  :  2026-01-08 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic එන්.සී.සී. යළිත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

එන්.සී.සී. යළිත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2026 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය නිමාවට පත්වන විට යළිත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ලකුණු 46.225 ක් ලබා සිටින එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 60.28 ක් ලබා තවදුරටත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. 

පස්වැනි සතියේදී බදුරලිය කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් වාර්තා කිරීමත් සමග එන්.සී.සී. කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි අතර ඔවුන්ගේ ඉහළ නැගීමත් සමග එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවූ බී.ආර්.සී. කණ්ඩායමට පියවර කිහිපයක් පසුබැසීමට සිදුවිය. පස්වැනි සතියේදී ඒස් කැපිටල් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ බී.ආර්.සී. කණ්ඩායම මේ වන විට ලකුණු 33.07 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පස්වැනි ස්ථානයේ පසුවේ. 

පොලිස් කණ්ඩායම තවදුරටත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත්ව ඇත්තේ පස්වැනි සතියේදී නුගෝගොඩ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මුල් ඉනිමේ ජයක් ලැබීම හේතුවෙනි. එම තරගයේදී පොලිස් කණ්ඩායම හමුවේ මුල් ඉනිමේ පරාජයක් ලැබුවද නුගේගොඩ කණ්ඩායම මේ වන විට ලකුණු 40.145 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

පස්වැනි සතියේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් ලැබූ සී.සී.සී. කණ්ඩායම ලකුණු 42.25 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. සිවුවැනි සතියේදී ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් ලැබූ, මුවර්ස් කණ්ඩායම පස්වැනි සතියේදී විවේකයක් ලබා සිටියද ලකුණු 42.75 කට හිමිකම් කියමින් ‘බී.’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර සමත්ව සිටින අතර ඔහු ඉනිම් 6 ක් ක්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතකයක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 440 කි.
 කුරණෑගල යොවුන් කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ ඉනිම් 8 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 378 ක්ද, ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ ඉනිම් 8 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 368 ක්ද රැස්කරමින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර ඉනිම් 8 කදී කඩුලු 27 ක් බිඳහෙළමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. ඊට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 3 ක්ද ඇතුළත් වේ. කුරුණෑගල යොවුන් කණ්ඩායමේ චාමික එදිරිසිංහ ඉනිම් 8 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සමග කඩුලු 25 ක්ද, බී.ආර්.සී. කණ්ඩායමේ මොහොමඩ් සිරාස් ඉනිම් 7 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සමග කඩුලු 23 ක්ද දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. 

තරගාවලියේ හයවැනි සතිය එළබෙන සිකුරාදා (9 වැනිදා) ආරම්භ වන අතර එහිදී පොලිස් පිලට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් පිල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත්, සී.සී.සී. පිලට එරෙහිව පානදුර පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව නුගේගොඩ කණ්ඩායම කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදීත්, එන්.සී.සී. පිලට එරෙහිව ද්‍රවිඩ සංගම් පිල කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත්, ඒස් කැපිටල් පිලට එරෙහිව බදුරලිය පිල සී.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, මුවර්ස් පිලට එරෙහිව කුරුණෑගල යොවුන් පිල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් තරග වදියි. 


අදහස් (0)

එන්.සී.සී. යළිත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.