
(වාද්දුව දයා හේමන්ත සිල්වා සහ පානදුර සුමිත් පොතුපිටිය)
දැනට වල්බිහි වී පවතින පානදුර මෝදරවිල ක්‍රීඩාංගනය ඉදිරි වසර කිහිපය තුළ, පියවරෙන් පියවර, ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් බවට පරිවර්තනය කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. ක්‍රීඩා ඇමතිවරයා එසේ පැවසූයේ පසුගිය ඉරිදා (04 වැනිදා) එම ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුවය.
ක්‍රිකට් ක්‍රීඩාව හැර, මලල ක්‍රීඩා, පාපන්දු, රග්බි සහ වොලිබෝල් ඇතූළු සෑම ක්‍රීඩාවකටම පුළුල් පහසුකම් සපයමින්, පානදුරට පමණක් නොව කළුතර දිස්ත්‍රික්කයටම ජාතික සම්පතක් ලෙස මෙම ක්‍රීඩාංගණය වැඩිදුයුණු කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා වැඩදුරටත් අවධාරණය කළේය.
“මුල් ගල් තියන්න නෙමේ... අපේ බලාපොරොත්තුව මෙතැන අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමයි“
“සියලු දෙනාගේම පහසුව සඳහා, විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාසල් වල දරුවන්ටත් ප්‍රයෝජනවත් විය හැකි ක්‍රීඩාංගණයක් බවට මෙම ක්‍රීඩාංගණය පත්කරන එක තමයි අපේ වගකීම“ යයි ද ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“මේ ප්‍රදේශයේ පාසල් ගණනාවක් තියෙනවා. ඒත් මීටර 400 ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයක් නෑ... ඒ වගේම රගර් සහ පාපන්දු ඇතුළු අනෙකුත් ක්‍රීඩාවලත් යෙදෙන්න පුළුවන් විදිහට මෙතන හොඳ පිට්ටනියක් හදන්න අපට අවස්ථාවක් තියෙනවා..“
“මේ ඉඩමේ ගැටළුවක් කලින් තිබිලා තියෙනවා. ඒ ඉඩමේ ගැටළුවත් මන්ත්‍රීතුමිය මැදිහත්වෙලා විසඳනවා. ඒ නිසා ප්‍රදේශයේ දරුවන්ට සහ තරුණයන්ට මේ ස්ථානයේ හොඳ ක්‍රීඩාංගණයක් හදන්න, ක්‍රීඩා අමාත්‍යංශය හැටියට අපට වගකීමක් තියෙනවා. අපි ඒ වගකීම බාරගන්නවා.“ යයි ද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
“මේ ක්‍රීඩාංගණයට මේ අවුරුද්දේ අපි ප්‍රතිපාදන වෙන්කරල නෑ. ඒ වුණත් අපි තියෙන ප්‍රතිපාදන කළමනාකරණය කරලා මේ වැඩේ ආරම්භ කරනවා. එතකොට අපිට ටික කාලයකදී මේ වැඩි ඉවර කරගන්න පුළුවන්“ යයි ද ඇමතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, මේ වනවිට මලල ක්‍රීඩාවට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මීටර් 400 (කෘතිම) ධාවන පථ ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණයේ සහ දියගම ක්‍රීඩාංගණයේදී පමණක් බවත්, පානදුර මෝදරවිල ක්‍රීඩාංගණය තුළ මීටර් 400 ධාවන පථයක් සහිතව ක්‍රීඩාංගණය ඉදිකරන නමුත් එය කෘතිම ධාවන පථයක් ද නැද්ද යන්න දැන්ම තීරණය කළ නොහැකි බවත් පැවසීය.
“මෙතන ඉදිකරන්නේ මීටර 400 කෘතිම ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයක් ද නැතිනම් තණකොළ සහිත මීටර 400 ධාවන පථයක් ද යන්න තීරණය වෙන්නේ අපට ලැබෙන මුදල් ප්‍රතිපාදන මතයි. ඒ කොහොම වෙතත් අපි මෙතන මීටර 400 ධාවන පථයක් (තණකොළ සහිත) එක්ක ක්‍රිකට් හැර සියලුම ක්‍රීඩාවලට යොදාගත හැකි ආකාරයේ ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මුදල් ලැබෙන විදිහට, මේ ක්‍රීඩාංගණයට කෘතිම ධාවන පථයක් එකතු කරනන පුළුවන්“ යයි ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා මෝදරවිල ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ආරාධනාවක් මතය. ඇමතිවරයා ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදී පානදුර ප්‍රදේශයට ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක ඇති අවශ්‍යතාව පැහැදිළි කිරීම සඳහා පානදුර නගර සභාවේ සභාපති හේමකුමාර ප්‍රේරා, උප සභාපති රාජිත ප්‍රනාන්දු, පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි පෙරේරා, උප සභාපති නිශ්ශංක ඩයස් යන මහත්වරුන්ද සමගින් මෝදරවිල ක්‍රීඩාංගණය රැකගැනීමේ සංවිධානයේ සාමාජිකයෝත්, ඔලිම්පික් කෙළබිමට ගිය මලල ක්‍රීඩිකා ජයමිණි ඉලේපෙරුම මෙනෙවියත්, පානදුර මහානාම විද්‍යාලයේ විදුහල්පති උපාලි සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කාන්තසිරි මීගමුවගේ මහතා ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.