Last Update  :  2026-01-05 19:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ඉන්දියාවට යන්න බෑ කියයි
අයි.පී.එල්. අර්බුදය

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ඉන්දියාවට යන්න බෑ කියයි

editorial - 2026 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දීය රුපියල් කෝටි 9 කට මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහෙමාන් වහාම ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ පිලෙන් නෙරපා දමන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝග කිරීමත් සමගින් ඇවිලී ගිය දේශපාලන ගින්න මේ වන විට බලපොරොත්තු නොවූ ඉසව් කරා පැතිරෙමින් පවතී.

එහි ආසන්නතම ප්‍රතිචාරය වී ඇත්තේ තවත් මාසයකින් පමණ ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට නොයාමට බංග්ලාදේශය තීරණය කිරීමයි. 

“දැනට පවතින තත්ත්වය සහ ඉන්දියාවේදී බංග්ලාදේශ කණ්ඩායමට ලැබිය හැකි ආරක්ෂාව මෙන්ම ආරක්ෂාව පිළිබඳ ක්‍රීඩකයන්ගේ මනස තුළ වර්ධනය වන කනස්සල්ල පිළිබඳ ගැඹුරු තක්සේරුවකින් පසුව, බංග්ලාදේශ රජයේත් උපදෙස් සැලකිල්ලට ගනිමින්, බංග්ලාදේශ ජාතික කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාවට නොයන බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ,” යයි බංග්ලාදේශ පාලක ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට යාමට තමන් සූදානම් නැති බවත් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත තරග සඳහා ඉන්දියාවෙන් පිටස්තර වෙනත් ස්ථානයක් සූදානම් කරන ලෙසත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම ආසියානු ක්‍රිකට් සම්මේලනයේත් හිටපු සභාපතිවරයකු වන, ඉන්දීය ජාතික ජේ ෂා මහතාය. 

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයන් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වන බැවින්, බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, එම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සිදුවීම වැළැක්විය නොහැක්කකි. පාකිස්තානු කණ්ඩායම ද ඉන්දියාවට නොයන බැවින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානු පිලේ සියලුම තරග පැවැත්වෙන්නේත් ශ්‍රී ලංකාවේදීය. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ‘සී’ කාණ්ඩයෙන් තරග කරන අතර එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නේපාලය සහ ඉතාලිය ‘සී’ කාණ්ඩයෙන් තරග කරන අනෙක් කණ්ඩායම් වෙති. බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග පෙබරවාරි මස 7 වැනිදා අරම්භ වන අතර පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කොල්කටා නුවරදී පැවැත්වීමට නියමිතය. 

යම් හෙයකින් මෙම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සිදුවුවහොත් එකම දිනයේදී ලෝක කුසලාන තරග දෙකකට සත්කාරය දැරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. 

කෙසේ වෙතත් මේ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියකු කියා සිටියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිවේදනයක් ලැබෙන තුරු ශ්‍රී ලංකාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. 

“අපිට පැනලා මේ තරග බාරගන්න බෑ. මොකද එහෙම කළොත් අපි බංග්ලාදේශයට උඩගෙඩි දුන්නා වෙනවා. අනෙක මේ පැත්තක තියෙන ප්‍රශ්න හින්දා අපට ඉන්දියාව තරහා කරගන්න උවමනාවක් නෑ...”

“ඉන්දියාවත් අපිත් (ශ්‍රී ලංකාව) අතර තියෙන හිතවත්කම් හොඳටම හොඳයි. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට ආධාර කරන්න තරග දෙකක් ක්‍රීඩා කරන්නත් ඉන්දියාව එකඟ වෙලා තියෙන්නේ....” යයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වුවද මෙම තීරණයට එළඹ ඇත්තේ බොහෝ දුරට සාකච්ඡා කිරීමෙන් පසුව මහත් අසීරුවෙන් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පලක මණ්ඩල විධායක කමිටුවේ රැස්වීම් දෙකක් පැවැති නමුත් පළමු රැස්වීම නිශ්චිත තීන්දුවකින් තොරව නිමාවූ බව ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි. 

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙකත් මුස්ටෆිසුර් රෙහෙමාන් මිලදී ගැනීමට සූදානම් වූවත්, කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් ඉන්දීය රුපියල් කෝටි 9.2 ක් ඉදිරිපත් කරමින් බංග්ලාදේශ වේග පන්දු යවන්නා මිලදී ගන්නා ලදි. වමතින් වේග පන්දු යවන මුස්ටෆිසුර් රෙහෙමාන්, 2016 සිටම අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩා කරන්නෙකි. 

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රීඩකයා සංචිතයේ සිටියහොත්, අයි.පී,එල්. තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල සහභාගි වන තරග කඩාකප්පල් කර දමන බව ඉන්දියාවේ ආගමික නායකයෝ මෙන්ම දේශපාලන ක්‍රියාකාරීහු ද කියා සිටිති. 

මෙවර අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන එකම බංග්ලාදේශ ක්‍රීඩකයා වන්නේ ද මුස්ටෆිසුර් රෙහෙමාන්ය. පසුගිය මාසයේදී බංග්ලාදේශයේ අතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හින්දු භක්තිකයකු වන මයිමෙන් සිං මියයාමෙන් පසුව ඉන්දු - බංග්ලාදේශ දේශපාලනික සම්බන්ධතා පළුදු විය. 


අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ඉන්දියාවට යන්න බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.