
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ 8 වැනි සතිය නිමාවට පත්වන විට ලකුණු 31 ක් ලබා තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මේ දක්වා තරග 6 කට ක්‍රීඩාකර ඇති ඔවුන් ඉන් තරගය 5 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව ඇතත් එම තරග 6 දීම ප්‍රසාද ලකුණ බැගින් හිමිකරගෙන තිබේ.
සී.ආර්. කණ්ඩායමට වඩා පියවරක් පසුපසින් සිටින මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විට තරග 5 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්කර ගෙන ලකුණු 28 කට හිමිකම් කියයි. මහනුවර කණ්ඩායමද සහභාගි වූ සෑම තරගයකදීම ප්‍රසාද ලකුණක් හිමිකරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ඔවුන් සහ සී.ආර්. කණ්ඩායම අතර පවතින ලකුණු පරතරය 3 කි.
අටවැනි සතියේදී හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායම සමත් වූ අතර ගුවන් හමුදාව පරාජය කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එහිදී යුද හමුදාව පරාජය කළ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි. මේ වන විට තරග 5 කට සහභාගි වී ඇති ඔවුන් තරග 3 ක් ජයගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමා කරගනිමින් ලකුණු 27 ක් ලබා සිටියි. ඊට ප්‍රසාද ලකුණු 4 ක්ද ඇතුළත් වේ.
සී.ආර්. කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමග තරගාවලිය පුරා රැකගෙන සිටි අපරාජිත බව අහිමිකරගත් හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. තරග 5 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්ව, සෙසු තරගය සමව අවසන් කරගෙන සිටින ඔවුන් ලකුණු 21 කට හිමිකම් කියන්නේ ප්‍රසාද ලකුණු 3 ක්ද සමගිනි.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.