
ඕස්ට්‍රේලියාවේදී තමන් සහභාගි වන අවසන් ‘අළු බඳුන’ තරගය විය හැකි සිඩ්නි ටෙස්ට් තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝ රූට් (160) ලකුණු 384 ක් කරා එංගලන්ත මුල් ඉනිම තල්ලුකරගෙන ගියේය. අංක 4 පිතිකරුවා ලෙසින් පැමිණි ජෝ රූට් දැවී ගියේ එංගලන්ත පිලේ 9 වැනි පිතිකරුවා ලෙසිනි. ඒ වන විටත් එංගලන්ත ලකුණු පුවරුවේ 384 ඉලක්කම පෙනෙන්නට තිබිණ.
සිඩ්නි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය ලබාගත් ලකුණු 384 ට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 2 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටියහ. මෙවර අළු බඳුන තරගාවලියේදී විශිෂ්ට පිතිහරඹයක නිරතව සිටින ට්‍රැවිස් හෙඩ් එයින් ලකුණු 91 කට හිමිකම් කියා තිබිණ.
සිඩ්නි නුවර පවතින සුපුරුදු අක්‍රමවත් කාලගුණය හේතුවෙන් ආරම්භක දිනයේ තරගය ඕවර 45 දක්වා අඩු කරන ලදි. ලකුණු 57 ක් ඇතුළත සැක් ක්‍රෝලි, බෙන් ඩකට් සහ ජේකබ් බෙතීල් යන තිදෙනාම දැවී ගිය නමුත් එතැන් සිට තරගයේ පාලනය අතට ගත් ජෝ රූට් සිය 41 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරමින් වැඩිම ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් ඇතුළත් සර්වකාලීන ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පිවිසියේ රිකී පොන්ටිං හා සමතැන් ගනිමිනි.
මේ වන විට 35 වැනි වියේ පසුවන ජෝ රූට් මෙතෙක් සහභාගි වූ ටෙස්ට් තරග සංඛ්‍යාව 163 කි. ලෝකයේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින රූට් (පළමු වැන්නා සචින් තෙන්ඩුල්කාර් - තරග 200 යි) මෙතෙක් ලබා සිටින ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 13,937 කි. ඔහු තෙන්ඩුල්කාර්ට වඩා ලකුණු 1984 ක් පසුපසින් සිටී.
ජෝ රූට්ට අනගි සහයෝගයක් දුන් හැරී බෲක්, සිඩ්නි පිටියේ පන්දුවට පහර දීම පහසු අභියෝගයක් බව පෙන්නුම් කළේය. රූට් සහ බෲක් අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 169 කි. ලකුණු 03 ක් ඇතුළත හැරී බෲක් සහ බෙන් ස්ටෝක්ස් (0) දෙදෙනාම දැවී ගිය නමුත් ජැමී ස්මිත් සමගින් එක්වූ ජෝ රූට් 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය.
වසර ගණනාවක් පුරා සිඩ්නි ක්‍රීඩාංගණය නම්දරා තිබුණේ දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් ලෙසිනි. එහෙත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වේග පන්දු යවන්නන් සිව් දෙනකුගෙන් සන්නද්ධව සිටි අතර දඟ පන්දු යැවීම සඳහා ට්‍රැවිස් හෙඩ් කැඳවන ලද්දේ 72 වැනි ඕවරයේදීය.
එංගලන්තය - පළමු ඉනිම 384 යි
(සැක් ක්‍රෝලි 16, බෙන් ඩකට් 27, ජේකබ් බෙතීල් 10, ජෝ රූට් 160, හැරී බෲක් 84, ජැමී ස්මිත් 46, විල් ජැක්ස් 27, මිචෙල් ස්ටාක් 93/2, මයිකල් නේසර් 60/4, ස්කොට් බෝලන්ඩ් 85/2)
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 2 ට 166 යි
(ට්‍රැවිස් හෙඩ් නොදැවී 91, ජේක් වෙදරල්ඩ් 21, මානස් ලැබුෂේන් 48, බෙන් ස්ටෝක්ස් 30/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.