Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංක්‍රාන්ති සමයක බංග්ලාදේශය හමුවීම
එක්දින තරගාවලිය

සංක්‍රාන්ති සමයක බංග්ලාදේශය හමුවීම

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශය ටෙස්ට් වරම් දිනාගත්තේ වසර 2000 දීය. ශ්‍රී ලංකාව සමගින් පළමු ටෙස්ට් තරගයට මුහුණ දුන්නේ 2001 දී කොළඹ එස්.එස්.සී. පිටියේදීය. වසර 24 ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලි 13 කින් 12 ක්ම පරාජය වී සිටින බංග්ලාදේශයට ටෙස්ට් තරගාවලියක් පරාජය වීම එතරම් විස්සෝපයට කාරණාවක් නොවේ.
 
අනෙක් අතට බංග්ලාදේශයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවත් ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවත් අතර කිසියම් පරතරයක් පවතී. එනිසාමදෝ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරග 28 න් තරග 21 ක් බංග්ලාදේශය පරාජය වී තිබේ. එහෙත් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී එය තරමක් වෙනස් කතන්දරයකි. 

1986 දී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ සිටම ශ්‍රී ලංකාව සමගින් එක්දින තරග වලට සහභාගි වන බංග්ලාදේශය මෙතෙක් ශ්‍රී ලංකාවට මුහුණ දුන් එක්දින තරග 57 න් 12 ක් ජයගෙන තිබේ. ඇතැම් අවස්ථවලදී ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ එක්දින තරග පරාජය වී ඇති නමුත් ඒ ජයග්‍රහණය ආසන්නයටම පැමිණීමෙන් පසුවය. 
මේ කතාවේ මෑත කාලීන ඉතිහාසය බංග්ලාදේශයට තරමක් වාසිදායකය. 

වසර 2020 න් මෙපිට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති එක්දින තරග 12 කින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 5 කි. බංග්ලාදේශය තරග 7 ක් ජයගෙන තිබේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (02 වැනිදා) ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට තරමක් අභියෝගාත්මක එකකි. 

ඒ තොරතුරු කෙසේ වෙතත් මේ බංග්ලාදේශ කණ්ඩායමේ සංක්‍රාන්ති සමයකි. 
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි ස්ථානයට ඇද වැටී සිටින බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හදිසියේම වෙනස් විය. ටෙස්ට් කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි නජ්මුල් හොසේන් (ශන්ටෝ) ටෙස්ට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයේ කටු ඔටුන්න ගලවා වීසි කළේය. එය කණ්ඩායමේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් යයි ශන්ටෝ මාධ්‍ය හමුවේදී කියා සිටි නමුත් ඒ පසුබිමේ ඇත්තේ දැඩි කළකිරීමකි. 

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පිටත්ව එන විටත් එක්දින කණ්ඩායමේ නායකයා වී සිටියේ ටෙස්ට් නායකයා වූ නජ්මුල් හොසේන්ය. එක්දින කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් ඔහුටත් සැලසුම් තිබිණ. එහෙත් නජ්මුල්ගේ කිසිදු අනුදැනුමකින් තොරව, හදිසියේම එක්දින කණ්ඩායමේ නායකත්වය ඔහුගෙන් ඩැහැගත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එය මෙහෙදි හසන් මිරාස් අතට පත්කළේය. මේ සම්බන්ධයෙන් නජ්මුල් සිටියේ කිපුණු සිතිනි. 

ටෙස්ට් තරගාවලියේදී කෝපය සඟවාගෙන ක්‍රීඩා කළ නජ්මුල්, තරගාවලිය නිමාවේදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට එකට එක කරමින් නායකත්වයෙන් ඉවත් විය. නායකත්වයෙන් ඉවත් කරන ලද නමුත් නජ්මුල් හොසේන් එක්දින පිතිකරු ලයිස්තුවේ අංක 3 ස්ථානය බාරගැනීමට සූදානමින් සිටී. 

අනෙක් අතට බංග්ලාදේශය සිය අවසන් එක්දින තරගාවලි තුනම පරාජය වී තිබේ. එය සටහන් වන්නේ ඇෆ්ඝනිස්ථානය හමුවේ 2-1 ක්, කොදෙව් පිල හමුවේ 3-0 ක් සහ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී 2-0 ක් ලෙසිනි. සමස්තයක් වශයෙන් ගතහොත් අවසන් මාස 8 ඇතුළත බංග්ලාදේශය සහභාගි වූ එක්දින තරග 8 කින් තරග 7 ක් පරාජය වී තිබේ. 
මේ තත්ත්වය අනුව නව නායක මෙහෙදි හසන් මිරාස් හමුවේ ඇත්තේ ද සුළුපටු අභියෝගයක් නොවේ. 

පළමුවෙන්ම කණ්ඩායම් කාමරය තුළ පවතින දුඟඳ හමන සියලු දෑ ඉවත් කිරීමට මෙහෙදි හසන්ට සිදුවෙයි. දෙවැනිව ඔහුගේ ඉලක්කය වන්නේ එක්දින කණ්ඩායම තමන් අපේක්‍ෂා කරන දිශාවකට කැඳවාගෙන යාම සඳහා ක්‍රීඩකයන් 15 දෙනාම ඒකරාශී කිරීමයි. එහිදී නව එක්දින නායකයාට සෑහෙන කැප කිරීමක් කිරීමට සිදුවනු නිසැකය. 

ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු හතර දෙනාගෙන් කෙනකු වන මෙහෙදි හසන් මිරාස් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි. එහෙත් පිතිකරු ලයිස්තුවේදී ඔහුට නිසි තැනක් නොතිබිණ. මිරාස් පන්දුව පහර දුන්නේ පිතිකරු ලයිස්තුවේ එක එක තැනිණි. මේ අවස්ථාවේදී, කණ්ඩායම ඒකරාශී කරගැනීම සඳහා මිරාස්ට නැවත වරක් පිතිකරු ලයිස්තුවේ තමන් කැමති ස්ථානය පරිත්‍යාග කිරීමට සිදුවනු ඇත. 

බංග්ලාදේශයට ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ මැද පෙළ ශක්තිමත් කළ මුෂ්ෆිකුර් රහීම් සහ මහමදුල්ලා එක්දින පිටියෙන් සමුගැනීමත්, සකිබ් අල් හසන් නැවතත් කණ්ඩායමට එක්වන දිනය අවිනිශ්චිත වීමත්ය. මේ තිදෙනා එක්ව සහභාගි වී ඇති එක්දින තරග සංඛ්‍යාව 760 ක් වන අතර ඔවුන් තිදෙනා එක්ව බංග්ලාදේශයට එකතු කළ ලකුණු සංඛ්‍යාව 21,054 කි. එබැවින් ඔවුන්ගේ අඩුපාඩුව පිරවීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. 

අනෙක් අතට බංග්ලාදේශයේ වත්මන් දඟ පන්දු යවන්නන් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නෝ ගව් ගණනක් ඉදිරියෙන් සිටිති. පළමු තරග දෙකම පැවැත්වෙන්නේ දඟ පන්දු යවන්නන්ගේ කෙළිබිමක් වන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වන බැවින් පළමු තරග දෙක නිමාවේදී තරගාවලිය සම්බන්ධයෙන් කිසියම් සාධාරණ අදහසක් ලබාගත හැකිවනු නිසැකය. 

ඒ කෙසේ වෙතත් බංග්ලාදේශය සමගින් එක්දින තරගාවලියට යාමට පෙර කියන්නට ඇත්තේ මෙවන් කතාවකි. 

ශ්‍රී ලංකාව දැනට එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටී. එබැවින් බංග්ලාදේශයට එක තරගයක් හෝ ජයගන්නට ඉඩදීම අවදානම් සහගතය. මක්නිසාද යත් ශ්‍රී ලංකාව (ප්‍රසාද ලකුණු 104) සහ පාකිස්තානය (ප්‍රසාද ලකුණු 104) පිළිවෙලින් 4 සහ 5 වැනි ස්ථාන වල සිටින නමුත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය  අතර ඇත්තේ සියුම් ලකුණු පරතරයක් වීමයි. විශේෂයෙන්ම බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් (10 වැනි ස්ථානයේ) සිටින බැවින් 3-0 ක තරගාවලි ජයග්‍රහණයකින් මෙපිට විසඳුමක් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ස්ථානයට ඉතාම අහිතකර වීමට ඉඩ තිබේ. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඇති ප්‍රධාන වාසියක් වන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කාමරය තුළ පවතින කැළඹිලි සහගත ස්වභාවයයි. එයින් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත්, 3-0 ක ජයග්‍රහණයේ මාවත විවර කරගැනීම අපහසු නොවේ. 
2023 ලෝක කුසලාන තරගාවලියේදී නවදිල්ලියේදී පැවැති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් කාලය ඉකුත් වීමෙන් දැවී යාම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව පසුගියදා ගාල්ලේදී පැවැති මැතිව්ස්ගේ සමුගැනීමේ ටෙස්ට් තරගයේදී පැහැදිළිවම දැකගත හැකිවිය. 

ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දෙමින් සිටියේය. ඒ අසන්නයට පැමිණි මුෂ්ෆිකුර් රහීම්.... 

“මොනවද ඇන්ජි, ගහනවකෝ පාරක් දෙකක්....”
“ටාගට් එකක් දීලා තියෙන්නේ.... ඒකට යනවකෝ....” යයි මැතිව්ස්ට ඔච්චම් කළේය. මේ අවස්ථාව්දී මුෂ්ෆිකුර්ගේ රැවුලෙන් අල්ලා ගත් මැතිව්ස්.... 

“මේ ඒකට වෙලාව නොවේ සහෝදරයා...” යයි කීවේය. 
තරගයෙන් පසුව දෙදෙනා මහත් සෙහෙනහසින් සිප වැළඳගෙන ක්‍රිකට් පිටියේ නිරන්තරයෙන් දක්නට ලැබෙන සහෝදරත්වය බෙදා හදාගත්හ. 

ක්‍රිකට් යනු ක්‍රීඩාවක් මිස යුද්ධයක් නොවේ. 


අදහස් (0)

සංක්‍රාන්ති සමයක බංග්ලාදේශය හමුවීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.