Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායක චරිත් අසලංක සහ පුහුණුකරු සනත් ජයසූරිය දෙදෙනා, තේරීම් කමිටු නිලධාරීන් වන උපුල් තරංග සහ ඉන්දික ද සේරම් සමගින් සාකච්ඡාවක
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ අන්තරජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ. කොළඹදී එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ 4 වැනියාට සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට (8 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට පිවිසෙන්නේ ශ්‍රේණිගත ලයිස්තුවේ 5 වැනියා ලෙසිනි.
හෙට තරගය ඉතාමත් තීරණාත්මකය.
බංග්ලාදේශයට එරෙහිව මේ දක්වා ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලි 11 කි. ඒවායින් තරගාවලි දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවී ඇතත් අනෙක් තරගාවලි 9 ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. ශ්‍රී ලංකාව සිය මව්බිමේදී එකම එක්දින තරගාවලියක්වත් බංග්ලාදේශය හමුවේ පරාජය වී නැත.
මේ සියලු කාරණා පසුබිමේ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමු වී ඇත්තේ හෙට තරගය සඳහා කණ්ඩායමේ සංයුතිය කුමක් විය යුතු යන්නයි. දින දෙකක් තිස්සේ කතාබහ කළත් ඒ සම්බන්ධයෙන් අද සවස්වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොතිබූ බව කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා අද (7 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.
“මේ තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක් බව පෙනෙනවා. ඒ වගේම මේ තණතීරුවේදී පන්දුවේ හොඳ ඉපිළීමක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්”
“අනෙක් කාරණාව තමයි පල්ලෙකැළේදී ක්‍රීඩා කළ පසුගිය තරග කිහිපය ගැන විශ්ලේෂණයක් කළොත්, අපට හැමදාම ලැබිලා තියෙන්නේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු තමයි... ඒ හින්දා, අපේ පිතිකරුවන්ට මේ තරගයේදී කොහොම හරි සාර්ථක වෙන්න වෙනවා” යයි කණ්ඩම්බි මහතා කීවේය.
හෙට තරගයේදී යොදාගන්නා පන්දු යවන්නන්ගේ සංයුතිය කුමක් විය යුතුද යන්න නායකයාත්, පුහුණුකරුවා සහ තේරීම් කමිටු නිලධාරීහුත් දිගින් දිගටම සාකච්ඡා කළහ. අද (7 වැනිදා) උදෑසන වන විට ඔවුන්ගේ එකඟතාව තිබුණේ දුනිත් වෙල්ලාලගේ වෙනුවට මිලාන් රත්නායක කණ්ඩායමට කැඳවීමයි.
අනෙක් අතට බංග්ලාදේශයේ දඟ පන්දු යවන්නන් ඉතාමත් හොඳ මට්ටමක සිටින බැවින් දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක් සකස් කිරීමත් අවදානමට අත වැනීමකි. එබැවින් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය වන්නේ බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ ඕවර 30 සමග ගනුදෙනුව පරෙස්සමෙන් බේරා ගැනීමයි.
කෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනා වන දුනිත් වෙල්ලාලගේ සහ මිලාන් රත්නායක තරාදියේ දෙපසට දමා කණ්ඩායම් කළමණාකාරීත්වය දෙදෙනාගේ බර බලමින් සිටිති.
තිත්ත ඇත්ත නම් දුනිත් වෙල්ලාලගේ ගෙන් එන ලකුණු ප්‍රමාණය, එහි සංඛ්‍යාත්මක අගයෙන් නොව අවස්ථානුකූල වටිනාකම අනුව, මිලාන් රත්නායකගෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාවට වඩා බරින් වැඩි බවයි. එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට දිනයේදී අසීරු තීරණයක් ගැනීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සපිරිම පිතිකරුවා වන්නේ කුසල් මෙන්ඩිස්ය. 2016 සිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වලට සහභාගි වන කුසල් මෙන්ඩිස් එක්දින තරග 145 කට සහභාගි වී ඇතත් ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් වී ඇත්තේ ශතක 5 ක් පමණි.
එහෙත් කුසල් මෙන්ඩිස් යනු ඊට වඩා බොහෝ බරක් ඇති, විශාල යමක් කළහැකි පිතිකරුවෙකි. අඩුතරමේ එක්දින ශතක 15 ක් වත් ඔහුගේ නමට ඉදිරියෙන් තිබුණා නම් එය ප්‍රමාණවත් යයි කිව හැකිව තිබිණ.
“එයා එදා ඉතාම හොඳ ආරම්භයක් ලබාගත්තා. පන්දු 20 කින් ලකුණු 50 ක් ගැහැව්වත්, එයා තේරුම්ගන්න ඕනේ ඒ වගේ අවස්ථාවක එක දිගු ඉනිමක් බවට පෙරළන්න”
“අනෙක එයා 100 ක් ගැහැව්වොත් අපි තරගය දිනනවා. එයත් ඒක දන්නවා. අපිත් එයාට කියනවා. ඒත් ඒක තියෙන්නේ එයාගේ අතේ.... මේ වගේ ලකුණු අතර ඉන්න වෙලාවක තමන්ගේ කඩුල්ල වීසිකර දාන එක මහ අපරාදයක්”
“ඒ වගේ තණතීරුවක, එයාට ලේසියෙන්ම ලකුණු 150 ක් නැත්නම් 200 ක් ගහන්න තිබුණා” යයි ද පිතිහරඹ පුහුණුකරුවා කීවේය.
කිසියම් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමි්ණීමේදී ඔවුන්ට දිය යුත්තේ කිනම් ආකාරයේ තණතීරුවක් ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය කුමන ආකාරයේ විය යුතු ද යන්න ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් දනී. ඒ තත්ත්වය අනුව තිළිණ කණ්ඩම්බි මහතා පවසන්නේ අතිරේක වේග පන්දු යවන්නකු සමගින් හෙට තරගයට යා යුතු බවයි.
“ප්‍රතිවාදීන් දිහා බලලා කණ්ඩායම තෝරනවා නම් අපි තවත් වේග පන්දු යවන්නකු සමගින් තරගයට යා යුතුයි. ඒත් අපේ ක්‍රීඩකයන් පසුගිය තරග වලදී හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා....”
“පළමු තරගයේදී වුණත්, දුනිත් වෙල්ලාලගේව එළියෙන් තියන්න ගත්තේ පහසු තීරණයක් නෙමේ. ඒත් අපි මේ තත්ත්වය අනුව හැඩගැහෙන්න ඕනා....”
“ඒක අමාරු තත්ත්වයක්” යයි ද කණ්ඩම්බි මහතා පැවසීය.
මේ සියලු කාරණා පසුබිමේ තිබියදීත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව වෙනස් වීමේ සම්භාවිතාවක් නැතිවා නොවේ. නිශාන් මධුෂ්ක එතැනදී වඩාත්ම අවදානමට මුහුණ දී සිටින පිතිකරුවාය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.