Last Update  :  2025-08-21 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයට තහනමක්

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයට තහනමක්

editorial - 2025 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහාතා හා එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ෂිරෝමි පිලපිටිය මහත්මිය.

 

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයට (ස්ලාඩා) සදුදා (18) සිට බල පැවැත්වෙන පරිදි තාවකාළිකව තහනමක් පැනවීමට ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනය (වාඩා) කටයුතු කර තිබේ.  'වාඩා' යනුවෙන් ප්‍රචලිත ලෝක  උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අභිලාෂයන්ට අනුකූලව සිය නීති සංග්‍රහය යාවත්කාළීන කිරීමට අපොහොසත්වීමේ චෝදනා මත ශ්‍රී ලංකා නියෝජිත ආයතනයට එම තහනම පැනවීමට කටයුතු කර තිබේ.

ඒ පිළිබදව වැඩි දුරටත් වාර්තා වන පරිදි  ශ්‍රී ලංකාවට එය නිවැරදි  කර ගැනීම සදහා පසු ගිය මාර්තු 27 වැනිදා සිට සහන කාලයක් ලබාදී තිබී ඇතත් එම කාලය තුළද එය ඉටු නොවීමෙන් පසුව එම තහනම පනවා තිබේ.

ඒ අතර පසු ගිය ජූලි 28 වැනිදා ඒ සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් ශ්‍රී ලංකාවට නිකුත් කිරීමටත් ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන එම තත්වය ලෝක උත්තේජක නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමක් වන බවට එම ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
   
 ශ්‍රී ලංකාවට බල පැවැත්වෙන ඉහත තහනමෙන් පැන නැගෙන ප්‍රතිවිපාක අතර ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනයට අයත් කමිටු හා අනුබද්ධ ආයතනවල තනතුරු දැරීම ශ්‍රී ලංකාවට තහනම් වීම,ලෝක නියෝජිත ආයතනය සංවිධානය කෙරෙන හෝ සහය දක්වන විෂය පඨයට අදාළ ඕනෑම ආකාරයේ ක්‍රීඩා උළෙල හා උත්සව සත්කාරකත්වය දැරීම ශ්‍රී ලංකාවට තහනම් වීම, ලෝක නියෝජිත ආයතනය සාමාජික රටවලට ලබා දෙන අරමුදල් ශ්‍රී ලංකාවට ප්‍රදානය අත් හිටුවීම, එහි වැඩ සටහන් සදහා ශ්‍රී ලංකාව සහභාගි කර නොගැනීම, හා ලෝක නියෝජිත ආයතනයේ නීති සංග්‍රාහයට අනූකූල නොවන රටවල් හා සංවිධාන එකතුවට ශ්‍රී ලංකාව ඇතුළත් වීම යන කාරණා ප්‍රධාන වේ.

ශ්‍රී ලංකාවේ තහනම පිළිබදව ලංකාදීප ය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ෂිරෝමි පිලපිටිය මහත්මිය මෙසේ පැවැසුවාය.

"මෙම තත්වය නිවැරදි කර ගැනීමට වහාම කටයුතු කරනවා.මෙතන ඇති වෙලා තිබෙන්නේ නීති සංග්‍රහය යාවත්කාළීන කිරීමේදී පැන නැගුණු ප්‍රමාදයක්. එය මේ වන විටත් කැබිනට් මණ්ඩලයට අනුමැතියට යොමු කරලා තිබෙනවා.දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ යාවත්කාළීන කෙරෙන නීති සංග්‍රාහය නීති ගත කිරීම සදහා ගැසට් නිවේදනය නිකුත් කිරීම පමණයි.

මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකාවට විතරක් අදාළ වුණු කාරණයක් නොවෙයි. තවත් රටවල් කීපයකම මෙම ප්‍රශ්නය පැන නැගීමෙන් ලෝක නියෝජිත ආයතනයේ ඔවුන් තහනමට ලක්ව තිබෙනවා."

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව සභාපතිවරයා ලෙස පසුගිය ජූනි 3 වැනිදා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා වෙතින් පත්වීම් ලබා ගත්තේ ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතාය. ප්‍රධාන වශයෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක ශරීරිගත කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පරීක්ෂාවන් සිදු කිරීමේ හා ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දඩුවම් නිර්දේශ කිරීමේ බලය පැවැරී ඇත්තේද ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින මෙම ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය වෙතය.


අදහස් (0)

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයට තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.