Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලොකුම ප්‍රශ්නය ප්‍රහාරාත්මක පිතිකරුවන් නැතිකමයි

ලොකුම ප්‍රශ්නය ප්‍රහාරාත්මක පිතිකරුවන් නැතිකමයි

editorial - 2025 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජයග්‍රහණයට පියවරු සියයක් ඇතත් පරාජයට ඇත්තේ එක් අයෙක් පමණයි යන්න ප්‍රකට කතාවකි. පරාජයේදී බොහෝ විට ඇඟිල්ල දිගු කෙරෙන්නේ නායකයා නැතිනම් පුහුණුකරු වෙතටය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්සයි-20 තරගාවලියේ පරාජය පිළිබඳ වගකීම නොපැකිළවම බාරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, තමන්ට වැරදී ගියේ කොතැනද යන්න හොඳින් පැහැදිළි කළේය. 

පරාජයට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය දුර්වලවීමත් ප්‍රහාරාත්මක පිතිකරුවන් නොමැතිවීමත් මිස අනෙකක් නොවේ යයි චරිත් අසලංක කියයි. 

“අපි තරගාවලිය පරාජය වුණා තමයි. ඒත් මේ පරාජයේ හොඳ පැත්ත අපි බලන්න ඕනේ... ඒ වගේම අපිට දියුණු කරගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එකත් අපි පිළිගන්න ඕනේ.... අපි ඉහළින් ඉන්නවා කියලා හිතන්න හොඳ නැහැ. මේ පෙනෙන්න තියෙන කාරණා නිසා තමයි අප විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ ඉන්නේ....”

“ක්‍රීඩකයන් විදිහට අපි පරාජය සහ වගකීම බාර අරගෙන, මේ තත්ත්වයට වඩා දියුණුවක් ඇතිකරගෙන, රට වෙනුවෙන් තරග දිනන්න උත්සාහ කරන්න ඕනේ” යයි ද බදාදා රාත්‍රියේ තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී චරිත් අසලංක පැවසීය. 

“මම පෞද්ගලිකව හිතන්නේ විස්සයි20 තරග තමයි අමාරුම කියලා. ඒකට හේතුව මේ ක්‍රීඩාවේ තිබෙන වේගයයි”

“අපේ ලොකුම ප්‍රශ්නය තමයි ප්‍රහාරාත්මක පිතිකරුවන් නැතිකම.... 

“අනිත් කණ්ඩායම් ගත්තොත් ඒවායේ 130 ට වඩා වැඩි ලකුණු ලබාගැනීමේ ප්‍රවේගයක් (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) තියෙන ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා, අපිට දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ ආකෘතියේ ක්‍රීඩාවෙදි අපේ පිතිකරු ලයිස්තුවේ 1 සිට 7 දක්වාම 130 ට වඩා වැඩි ලකුණු රැස්කිරීමේ ප්‍රවේගයක් තියෙන ක්‍රීඩකයෝ ඉන්න ඕනේ... අපි මේ අඩුපාඩුව ජය ගත යුතුයි” යයි ද චරිත් අසලංක කීවේය. 

කාසියේ වාසිය යනු සැම විටම තරගයේ වාසිය නොවන බව ශ්‍රී ලංකා නායකයාගේ අදහසයි. 

“අපි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට යනවා නම් දඹුල්ලේදී ලැබුණා වගේ තණතීරුවකදී ලකුණු 170 ක් එළවන්න පුළුවන් වෙන්න ඕනේ.... මොකද අපිට කාසියේ වාසිය පාලනය කරන්න බෑ.”

“අපි මුලින්ම බැට් කළත්, නැත්නම් ඉලක්කයක් හඹා යනකොට වුණත්, ලකුණු පුවරුවට අවශ්‍ය තරම් ලකුණු ගෙන්න අපට පුළුවන් වෙන්න ඕනේ....

“පුහුණුකරු (සනත් ජයසූරිය) වගේම මමත් හිතුවේ දවස අවසානයේදී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව මන්දගාමී වෙයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයින් විදිහට අපි කාසියේ වාසිය ගැන වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ, ඒ වෙනුවට, අපි ඉදිරියේ තියෙන දේට මුහුණ දෙන්න ඕනේ...” 

“මොකද ලෝක කුසලාන තරගාවලියෙදි වුණත්, අපි ක්‍රීඩා කරන්න කැමති ස්ථාන ලැබෙන්නේ නැහැ. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට අපි මුලින් පන්දුවට පහර දුන්නත්, මුලින් පන්දු යැව්වත්, අපි අතේ තියෙන වගකීම භාර ගැනීමට ඉගෙන ගත යුතුයි” යයි ද අසලංක පැවසීය. 

වසරකට පමණ පසුව දසුන් ශානක නැවතත් කණ්ඩායමට කැඳවීමට සිදුවූයේ ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ සන්දර්භයේ ප්‍රවේගකාරී පිතිකරුවන් නොසිටින බැවිනි. එහෙත් අසලංක කියන්නේ දසුන්ගෙන් නිසි ප්‍රයෝජනය ගැනීමට නම් ඔහුට තමාගේ පිතිහරඹය ක්‍රියාත්මක කළ හැකි වේදිකාවක්, මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් එක්ව නිර්මාණය කළ යුතුවන බවයි. 

“එහෙම නැතිව, දසුන්ව පිතිකරු ලයිස්තුවේ ඉහළින් යවලා එයා දැවී ගියොත්, අවසන් ඕවරය කිහිපයේදී වේගයෙන් ලකුණු ලබාගන්න සිටින එකම පිතිකරුවාත් අපට නැතිවෙනවා... ඒ හින්දා අපි ඔහුව පිතිකරු ලයිස්තුවේ එහාට මෙහාට යවනවා...” යයි ද අසලංක කීවේය. 

බදාදා රාත්‍රියේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී අසලංකගේ උත්සාහය වූයේ බංග්ලාදේශය හමුවේ ලද පරාජය වෙනුවෙන් නිදහසට කරුණු දැක්වීම නොව, තමන් වෙත එල්ල වන ප්‍රශ්නාවලියට යථාර්තවාදීව මුහුණ දීමයි. ඔහු එය සාර්ථකව කළේය. 

“කණ්ඩායමක් විදිහට, පරාජයෙන් පස්සේ අපට තරඟාවලිය පරාජය වීම ගැන ගොඩාක් හේතු දැක්වන්න පුළුවන්. විශේෂයෙන්ම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔලුවේ තියාගෙන අපි විවිධ සංයුතීන් අත්හදා බලන්න උත්සාහ කරනවා කියලා....” 

“ඒ වුණත්, ඇත්තටම අපි දන්නවා, 2024 වි-20 ලෝක කුසලාන තරගාවලියෙදි අපි නතර වුණ තැන කොතැනද කියලා. ඒ කණ්ඩායම වෙනුවෙන් නිවැරදි සංයුතියක් ලබාගැනීම අපට විශාල අභියෝගයක් වුණා” යය කී අසලංක... 

“අද තරගයේදී අපි දිනේෂ් චන්දිමාල්ව අංක 4 ටත්, කමිඳු මෙන්ඩිස්ව අංක 6 ටත් ගෙනාවා. ඒකේ විශාල අඩුපාඩු තියෙනවා. හැකි ඉක්මනින් ඒ තත්ත්වය නිවැරදි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යයි ද අසලංක කියා සිටියේය. 

වමත් පිතිකරුවා, පිතිහරඹයේදී මෙන්ම අදහස් දැක්වීමේදීත් සිය සිතැඟි නොවළහා කියා සිටින්නෙකි. 

“තරඟ පරාජයට පත්වන විට ක්‍රීඩකයන් වශයෙන් අපි වගකීම භාර ගත යුතුයි”
“අපි පරාජය වීමට ක්‍රීඩා කරන්නේ නැහැ, නමුත් අවාසනාවන්ත අයුරින් අපි පරාජය වුණා. ඒ වුණත් බංග්ලාදේශය අද අපට වඩා හොඳින් ක්‍රීඩා කළා කියන එක බැහැර කරන්නත් බෑ” යයි ද අසලංක කීවේය. 

ශ්‍රී ලංකා නායකයා කී දේ ඔහුගේ වචන වල පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑවක් විය. බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳින් ක්‍රීඩා කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේදී එය ඇතිවිය හැකි තත්ත්වයකි. 

1975 සිට 80 දශකය අග භාගය දක්වාම, දශක එක හමාරක පමණ කාලයක්, ක්‍රිකට් ලොව දිග්විජය කරගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම 1989 දී සමත් වන්නේත් ඉන්දියාවේදී රාජ්කොට් නුවරදී පැවැති නේරු කුසලාන තරගයේදී ශ්‍රී ලංකා වඩාත් හොඳින් ක්‍රීඩා කළ බැවිනි. 

වර්තමානයේදී බංග්ලාදේශය සතුව සිටින විස්සයි-20 කණ්ඩායම තරුණ වුවත් දක්‍ෂ කණ්ඩායමකි. එක්දින නායකයා වන මෙහෙදි හසන් මිරාස් කණ්ඩායමෙන් ඉවතට දමා ඔහුගේ ස්ථානයට මහෙදි හසන් කැඳවන්නේ දෙදෙනාම පිට දඟ පන්දු යවන්නන් වෙතත්, මෙම ක්‍රීඩකයන් දෙදෙනා එකිනෙකාට වෙනස් වන බැවිනි. තුන්වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විනාශ කළේ ද අනෙකකු නොව මහෙදි හසන්ය. 

මහෙදි හසන් පන්දු යැවීම අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට හිස එසවීමට කිසිදු ඉඩක් නොතිබිණ. ඒ වන විට බිඳ වැටී තිබුණ් කඩුලු 6 ක් වූවත් ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ පසුපෙළට ප්‍රහාරාත්මක පිතිකරුවන් නොසිටීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විය. 

“විස්සයි-20 ක්‍රිකට් තරගයකදී පන්දුව දඟ කැවෙන්න පටන් ගත්තාම ඒක පිතිකරුවෙකුට ඉතාමත් දුෂ්කරයි. මොකද, කඩුල්ලේ අනෙක් අන්තයේ සිටින කෙනාත් එක්ක පන්දුවට පහර දීමේ අවස්ථාව මාරු කරගන්න වෙනවා වගේම හොඳ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගයක් පවත්වාගෙන යන්නත් වෙනවා”

“ඒ වගේ වෙලාවල පන්දු අපතේ යවන්න බෑ”
“පිතිකරුවෙක් වශයෙන් මා නම් හිතන්නේ විස්සයි-20 තරඟයකදී පන්දුව දඟ කැවෙන්න ගත්තාම, ඒක හරිම අභියෝගාත්මක තත්ත්වයක්” යයි ශ්‍රී ලංකා නායකයා පැවසීය. 
වනිඳු හසරංග වැනි ක්‍රීඩකයෙකු නොමැති වීමත් විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් විශාල ගැටළුවකි. 

“විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී අපට සිටින ශූරතම පන්දු යවන්නා ඔහුයි.” යයි නායකයා කියයි. එහෙත් ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ගැටළුව වන්නේ අනෙකුත් රටවල මෙන් එක් ස්ථානයකට තරඟ කරන ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු නොමැති වීමයි.

කොහොම වුණත්, සැබවින්ම හොඳින් පන්දු යැවූ බංග්ලාදේශ පන්දු යවන්නන්ට මම ප්‍රශංසා කිරීමට කැමැතියි....”

“අපිත් ගොඩක් වැරදි කළා.... විස්සයි20 තරගයකදී ඕනෑවට වඩා වැරදි කරන්න බැහැ. මොකද ඒක වේගවත් ආකෘතියක් නිසා,... අපි හොඳ කණ්ඩායමක් වෙන්න නම් අපි අපේ වැරදි අවම කර ගත යුතුයි..” යයිද අසලංක කීවේය. 

“මහෙදිගේ පන්දු යැවීම නිසා අපිව තරගයෙන් එළියට විසි වුණා. ඒ වගේම ටැන්සිඩ් මේ තණතීරුවේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා... ඔහු ප්‍රතිප්‍රහාරය ඉතාමත් හොඳින් කළා..” යයි ද අසලංක පැවසීය. 


අදහස් (0)

ලොකුම ප්‍රශ්නය ප්‍රහාරාත්මක පිතිකරුවන් නැතිකමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.