
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනිමට මෙවර (2025-26) ලීග් රග්බි ශූරයන් බවට පත්ව සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් විය. සී.ආර්. ක්‍රීඩකයන් ක්ලිෆර්ඩ් කුසලාන දිනාගත් 16 වැනි අවස්ථාව මෙය වූ අතර අවසන් වරට ඔවුන් එම කුසලානට හිමිකම් කියා තිබුණේ මින් වසර 3 කට පෙර 2023 වසරේදීය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් සී.ආර්. ක්‍රීඩකයෝ මෙවර ක්ලිෆර්ඩ් කුසලාන තමන් සතු කරගත්හ. අවසන් පූර්ව වටයේදී ලකුණු 29-22 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමින් සී.ආර්. කණ්ඩායම අවසන් තරගයට පිවිසි අතර හැව්ලොක්ස් කණ්ඩායමට අවසන් තරගයට පිවිසියේ මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 41-38 ක ජයක් වාර්තා කරමිනි.
මෙවර අන්තර් සමාජ රග්බි ලීගය තුළදී මෙම කණ්ඩායම් දෙක දෙවතාවක් එකිනෙකාට එරෙහිව තරග වැදිණ. ඉන් මූලික වටය යටතේ පැවැති තරගයේදී ලකුණු 33-14 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායමත්, සුපිරි වටය යටතේ පැවැති තරගයේදී ලකුණු 28-14 ක් ලෙස සී.ආර්. කණ්ඩායම පරාජය කිරීමට හැව්ලොක්ස් කණ්ඩායමත් සමත් විය.
ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 06-03 ක් ලෙස සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී කරට කර තරගයක නිරත වූ සී.ආර්. ක්‍රීඩකයන් දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක්ස් ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ එක් දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී තවත් දඬුවම් පහර 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යවට ලකුණු 6 ක් එක්කර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, හැව්ලොක්ස් ක්‍රීඩකයෝ දඬුවම් උත්සාහක දිනුමක් මගින් ලකුණු 7 ක් ලබාගැනිමට සමත් වූහ. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 12-10 ක තියුණු ජයකට හිමිකම් කීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ.
එහිදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර 4 ක් සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් වූ අතර හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් සැමුවෙල් මධුවන්ත එක් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. සී.ආර්. කණ්ඩායමේ අචිත රදීෂාන් විනිසුරුගේ අවවාද සමග කහ කාඩ්පතක් ලබා විනාඩි 10 ක කාලයක් සඳහා පිටියෙන් ඉවත්ව ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.