
(දමින්ද විජේසූරිය)
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම තනි අතින් ගෙන කරකවා අතහැරිය දිලුම් සුධීර, ගාල්ල ක්‍රීඩාංගණයේදී දඟ පන්දු යවන්නකුට කළ හැකි දේ මේ යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා හමුවේ කදිමට සනාථ කළේය. ඉනිම තුනකින් ලකුණු 927 ක් වාර්තා වූ තණතීරුවකදී ලකුණු 145 කට කඩුලු 10 ක් දවාගත් දිලුම් සුධීර, දෙවැනි ඉනිමේදී (38/4) කළ පන්දු යැවීම නිසා නවසීලන්ත ‘ඒ’ ක්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 109 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්හ.
මෙම තරගය අද (26 වැනිදා) පෙරවරුවේදී නිමාවිය.
එක්දින තරගාවලියේදී 3-0 ක දරුණු පරාජයකට මුහුණ දුන් නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ගාල්ලට පැමිණියේ සූරියවැවදී පැවැති සිව්දින තරගයේ වැඩි වාසි අත්කරගනිමින්, එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමෙන් පසුවය.
ගාල්ලේදී කාසියේ වාසිය දිනාගත් සංචාරකයෝ පන්දුවට පහර දීම තෝරා ගනිමින්, කඩුලු 4 ට ලකුණු 238 ක් ලබා පළමු දිනය අවසන් කළහ. සිව් දින තරගයක් බැවින් ද, තරගයේ ඉතිරිව තිබුණේ දින 3 ක් පමණක් වූ බැවින් ද, ජයග්‍රහණයක් ගැන සිතීමට වත් අවස්ථාවක් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට නොතිබිණ.
කෙසේ වෙතත් දෙවැනි දින උදෑසන යැවූ පළමු ඕවරයේදීම මැක්ස් චූ දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන්ගේ සිතට චකිතය එන්නත් කළ දිලුම් සුධීර, සිය සහාය පිට දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස් සමගින් එක්ව, ලකුණු 65 ක් ඇතුළත නවසීලන්ත ‘ඒ’ පිලේ ඉතිරි කඩුලු 6 ම බිම දමාගත්හ. නවසීලන්ත ‘ඒ’ ඉනිම ලකුණු 305 ක සීමා විය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 197 ක් ලබාගනිමින්, දෙවැනි දිනය අහවර කරද්දී, කමිල් මිෂාර නොදැවී ලකුණු 72 ක් ලබාගනිමින් පිටියේ සිටියේය.
තුන්වැනි දිනය සම්පූර්ණයෙන්ම සිය අණසකට නතුකරගත් කමිල් මිෂාර ඇතුළු ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, ලකුණු 4.00 කට ආසන්න වේගයක් පවත්වාගනිමින්, ඕවර 81 කදී ලකුණු 321 ක් ලබාගත්හ. පන්දු 168 කින් ලකුණු 174 ක් ලබාගත් කමිල් මිෂාරගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 19 කින් සමන්විත වූ විය. අර්ධ ශතක ලබාගත් නිශාන් මධුෂ්ක (57), ළහිරු උදාර (61), නුවනිඳු ප්‍රනාන්දු (55) සහ සොනාල් දිනූෂ (නොදැවී 60) පමණක් නොව, දිලුම් සුධීර (24) හා දුලාජ් සමුදිත (18) දෙදෙනාත් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 500 කඩඉමෙන් එතෙර කිරිමට දායක වූහ.
මේ අතරවාරයේදී ඕවර 98.3 ක් බෙදාහදාගත් නවසීලන්තයේ දඟ පන්දු යවන්නන් තිදෙනා වන රෝහිත් කුමාර් ගුලාටි (126/1), පීටර් යංහස්බන්ඩ් (91/0) සහ ටිම් ප්‍රින්ගල් (144/2) තිදෙනාටම දවාගත හැකිවූයේ කඩුලු 3 ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ආධිපත්‍යය කෙතරම්ද යන්නත්, දිලුම් සුධීර සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා සාර්ථක වූ තණතීරුවකදී නවසිලන්ත පන්දු යවන්නන් කෙතරම් අසරණ වූයේද යන්නත් එයින් පෙනී යයි.
ලකුණු 213 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම ලකුණු 104 කට දැවී ගියහ. පස්වැනි ඕවරයේ සිටම පන්දුව අතට ගත් රමේෂ් මෙන්ඩිස් සහ දිලුම් සුධීර දෙදෙනා, දෙවැනි ඉනිමේදීත් නවසීලන්ත පිතිකරුවන් අන්ද මන්ද කරමින් කඩුලු 6 ක් බෙදාගත්හ. දිලුම් සුධීර (වමතින් දඟ පන්දු යවන්නා) සහ රමේෂ් මෙන්ඩිස් (ටෙස්ට් ක්‍රීඩක - දකුණතින් පිට දඟ පන්දු යවන්නා) නැවත වරක් සහතික කර පෙන්වූයේ වමත් දකුණත් පන්දු යවන්නන් දෙදෙනකුගේ සුසංයෝගය, කණ්ඩායමකට කෙතරම් වැදගත් වේද යන්නයි.
ගාල්ලේදී පැවැති මෙම නිල නොවන ටෙස්ට් තරගය, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ක්‍රිකට් ක්‍රීඩා රටාවේ කදිම පුනරූපනයකි. ඕවරයකදී ලකුණු 4.00 කට ආසන්න වේගයක් සහිතව, ඉදිරිපෙළ පිතිකරුවන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් ලබාගන්නා විශාල ලකුණු සංඛ්‍යාව මගින් ඇතිකරනු ලබන පීඩනයෙන් ප්‍රතිවාදීන් තලා පෙළා දැමීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ කලාවයි. වත්මන් පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා (වසර 2000 දී) එම පීඩනයට හොඳින්ම මුහුණ දුන් අයෙකි.
ශ්‍රී ලංකා කණඩායමේ පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව ගැරී කර්ස්ටන් මහතා මුලින්ම ගියේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරගය නැරඹීමටය. වසර 26 කට ඉහතදී වේග පන්දු යවන්නන් සිව් දෙනකු සමගින් ගාල්ල ටෙස්ට් තරගයට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ ගැරී කර්ස්ටන් මහතාට, 2000 ජූලි මාසයේදී සිදුවූ දේ යළිත් වරක් සිහියට නැඟෙන්නට ඇත.
එදා මුත්තයියා මුරලිදරන් සහ උපුල් චන්දන දෙදෙනා හමුවේ අසරණ වූ ෂෝන් පොලොක්ගේ දකුණු අප්‍රිකානුවෝ ඉනිමක සහ ලකුණු 15 ක පරාජයකට මුහුණ දුන්හ. පසු කලෙක රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා ගාල්ලේ අණසක පැතිරවූහ. රංගන සහ ඩිල්රුවන් දෙදෙනාම ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇතත් ගාල්ල ක්‍රීඩාංගණය එලෙසින්ම තිබේ. වමත් - දකුණත් දඟ පන්දු යවන්නෝත් තවමත් සිටිති.
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 305 යි
(රීස් මාරියු 22, කර්ටිස් හීපි 59, මැතිව් බොයිල් 102, මැක්ස් චූ 27, මිචෙල් හේ 20, සයිමන් කේන් 20, රෝහිත් කුමාර් ගුලාටි 11, දිලුම් සුධීර 107/6, රමේෂ් මෙන්ඩිස් 103/3)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 518 යි
(නිශාන් මධුෂ්ක 57, ළහිරු උදාර 61, කමිල් මිෂාර 174, මොහොමඩ් ෂිරාස් 12, නුවනිඳු ප්‍රනාන්දු 55, පසිඳු සූරියබණ්ඩාර 43, සොනාල් දිනූෂ නොදැවී 60, දිලුම් සුධීර 24, දුලාජ් සමුදිත 18, මයිකල් රී 35/2, සයිමන් කේන් 73/2, ටිම් ප්‍රින්ගල් 144/2, ඩේල් පිලිප්ස් 44/3)
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම - දෙවැනි ඉනිම 104 යි
(මැක්ස් චූ 35, මිචෙල් හේ 12, පීටර් යංහස්බන්ඩ් 17, ටිම් ප්‍රින්ගල් 14, රමේෂ් මෙන්ඩිස් 33/2, දිලුම් සුධීර 38/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.