
නවසීලන්තයේ ප්‍රධාන පෙළේ රග්බි කණ්ඩායමක් වන කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් මගහැරී ගියේ යන්තමිනි. ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන රග්බි තරග දෙකින් පළමු වැන්නේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 27 - 16 ක පහසු ජයක් අත්කර ගත්හ.
මෙම තරගය ඊයේ (25 වැනිදා) කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණ.
නවසීලන්තය උත්සාහක දිනුම් තුනකින් සහ දඬුවම් පහර හතරකින් ලකුණු ලබාගත්තේය.
එහෙත් නවසීලන්තයට හිමිවූ දඬුවම් පහර 4 නවත්වා ගත්තේ නම් 16 - 15 ක් ලෙසින් තරගය ජයගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා පිලට නොතිබුණා නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ද ප්‍රහාරාත්මක ආකාරයෙන් තම අරමුණ කරා ගිය නමුත් නවසීලන්ත පිලට නිරන්තරයෙන්ම හිමිවූ දඬුවම් පහර හේතුවෙන් ඔවුන් තරගයේ පසුපසට වැටිණ. ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් දෙකකින් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු ලබා ගත්තේය.
‘ඇත් පන්තිය’ ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවසීලන්තය හමුවේ අභීත සටනක නිරත වෙමින් ශුභවාදීව ඉදිරියට ගමන් කරමින් සිටියේය. තරගයේ පළමු අර්ධය නිමාවන විටත් ලකුණු 16 - 13 ක් ලෙසින් ඉදිරියෙන් සිටි නවසීලන්තය සතුව තිබුණේ ලකුණු 03 ක වාසියක් පමණි. එහෙත් නවසීලන්ත ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාම නොව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දඩබ්බර ක්‍රීඩා විලාසය සහ නොසැලකිලිමත්කම නිසා ඇත්තු තමන්ගේ අවස්ථාව මඟහැර ගත්හ.
නවසීලන්ත කණ්ඩායම ද, ශ්‍රී ලංකාවේ පවතින අධික උණුසුම හමුවේ තරග කිරීමට අසීරු තත්ත්වයක සිටියේය. එය ඔවුන්ට නුහුරු නුපුරුදු තත්වයකි. අවස්ථා දෙකකදීම තරගයේ පෙරමුණ ඔවුන් වෙතින් ගිළිහී ගියද, තමන්ගේ වෘත්තීය ක්‍රීඩා රටාවේ අනුහසින් ඔව්හු තරගය ජයගත්හ.
තරගය ආරම්භ වී ස්වල්ප වේලාවකට පසුව නවසීලන්තයට හිමිවූ දඬුවම් පහරකින් ප්‍රයෝජන ගත් ටේන් කෝර්ඩල් - හල් 3-0 ක් ලෙසින් නවසීලන්තය ඉදිරියට ගෙන ගියේය. එහෙත් සිව්වැනි විනාඩියේදී නවසීලන්ත ආරක්‍ෂකපෙළ බිඳිමින් ඉදිරියට ගිය ආකාශ් මධුශංක ලබාගත් උත්සාහක දිනුම හේතුවෙන් ශ්‍රී ලංකාව 5-3 ක් ලෙසින් ඉදිරියට පැමිණියේය.
එනපොට හොඳ නැති බව වටහාගත් නවසීලන්තයේ සයිමන් සියා, උත්සාහක දිනුමක් තබමින් ලකුණු පුවරුව 8 - 5 ක් ලෙසින් වෙනස් කළේය. වහාම ක්‍රියාත්මක වූ විඟර් ක්‍රීඩක ජනිඳු ඩිල්ෂාන්, පසුපෙළ ක්‍රීඩකයන්ගේ සහායෙන් උත්සාහක දිනුමක් තබමින් නැවත වරක් තරගයේ පෙරමුණට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේ 10- - 8 ක් ලෙසින් ලකුණු පුවරුව වෙනස් කරමිනි.
කෙසේ වෙතත් නවසීලන්තයේ පාසියා අසියාටා ලබාගත් උත්සාහක දිනුමෙන් සහ තවත් දඬුවම් පහරකින් ලකුණු 16 - 10 ක් ලෙසින් නවසීලන්තය ඉදිරියට ගියේය. පළමු අර්ධයේ තරගය නතර කිරීමට පෙර තේනුක නානායක්කාර ලබාගත් දඬුවම් පහර නිසා ලකුණු පුවරුව 16 - 13 ක් ලෙසින් වෙනස් වූවත්, නවසීලන්තය ඉදිරියේ විය.
තරගයේ 43 වැනි විනාඩියේදී නවසීලන්තයට ලැබුණු තවත් දඬුවම් පහරකින් කෝඩල්-හල් 19 - 13 ක් ලෙස නවසීලන්තය තවත් ඉදිරියට ගෙන ගියේය. ඒ සමගම වාගේ නවසිලන්තයේ අංක 8 ක්‍රීඩක පාසියාටාට කහ කාඩ් පතින් අවවාද කිරීමත් සමගින් ශ්‍රී ලංකාවට දඬුවම් පහරක් ලැබිණ. තේනුක නානායක්කාර එය සාර්ථක කරගැනීම නිසා ලකුණු 19 - 16 ක් ලෙසින් දෙපිල අතර පරතරය නැවත වරක් අඩු විය.
කෙසේ වෙතත් තරගයේ අවසන් විනාඩි 30 ඇතුළත සිය වෘත්තීමය ප්‍රවීණතාව මැනවින් ප්‍රකට කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 8 ක් ලබාගනිමින් තරගය ශ්‍රී ලංකා පිලෙන් ඈතට ඇදගෙන ගියහ. 61 වැනි විනාඩියේදී නායක ජෙරාඩ් පර්සිවල් දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර 75 වැනි විනාඩියේදී මැතිව් ටී්‍රබි විසින් ලබාගන්නා ලද උත්සාහක දිනුම හේතුවෙන් නවසීලන්තයේ ලකණු සංඛ්‍යාව 27 ක් විය.
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.