Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්වියාටෙක් ප්‍රංශ විවෘත ශූරතාව දිනාගනී

ස්වියාටෙක් ප්‍රංශ විවෘත ශූරතාව දිනාගනී

editorial - 2022 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් මහ තරගයේදී එක්සත් ජනපදයේ කොකෝ ගවුෆ් ලකුණු 6-1 සහ 6-3 ක් ලෙසින් පරාජය කළ පෝලන්තයේ ඉගා ස්වියාටෙක් දෙවැනි වතාවටත්  ප්‍රංශ විවෘත ශූරතාව දිනාගත්තාය. අවසන් තරගය ජයගත් සැණින් ඇය ප්‍රසිද්ධියේම කියා සිටියේ රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනය ශක්තිමත්ව නැගී සිටිය යුතු බවයි. 

සම්පූර්ණ ප්‍රංශ විවෘත තරගාවලිය පුරාම, යුක්රේනයේ වර්ණ සහිත රිබන් පටියක්, තමන් පැළඳ සිටි හිස්වැස්මට අමුණා ක්‍රීඩා කළ ඉගා ස්වියාටෙක්, අවසන් තරගය ජයගැනීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත සිය කටහඬ අවදි කළාය. 

“යුක්රේන ජාතිකයන්ට යම් දෙයක් කියන්න මා කැමතියි.... යුද්ධය තවමත් තියෙනවා... ඒත් ශක්තිමත්ව නැඟී සිටින්න” යයි ඉගා කියා සිටියාය. 

“දෝහා නුවරදී, මම පළමු වරට කතා කළ අවස්ථාවේදී (පෙබරවාරි මාසයේදී) මම හිතාගෙන හිටියේ ඊළඟට මම මේ සම්බන්ධයෙන් කතාකරන විට තත්ත්වය වඩාත් හොඳ අතට හැරී තියේවි කියලයි. ඒත් තාමත් මම ඒ ගැන බලාපොරොත්තු වෙනවා” යයි කියද්දි, රෝලන්ඞ් ගැරොස් හි, පිලිප් කාටියර් පිටියේ රැස්ව සිටි ටෙනිස් ලෝලීහු නොනවත්වා අත්පොළසන් දුන්හ. 

තවමත් 21 හැවිරිදි, පෝලන්ත ක්‍රීඩිකාවක වන ඉගා ස්වියාටෙක්, මෙතෙක් ජයගත් කේවල ශූරතා ගණන 9 කි. ඒවායින් දෙකක් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා වන අතර ඒ දෙකම ප්‍රංශ විවෘත ශූරතාය. ඇය ටෙනිස් ක්‍රීඩාවෙන් ඉපයූ ආදායම ඩොලර් මිලියන 8.9 ඉක්මවයි. ඉගා ස්වියාටෙක්, මේ වන විට එක දිගට ප්‍රධාන පෙළේ ටෙනිස් තරග 35 ක් ජයගෙන තිබේ. 

රුසියානුවන් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ප්‍රංශ විවෘත තරගාවලියේදී රුසියානු සහ බෙලරූස් ක්‍රීඩකයන්ට තහංචි පනවන ලදි. එහෙත් එම රටවල ක්‍රීඩකයන්ට රුසියානු හෝ බෙලරූස් රටවල ධජ නොමැතිව, මධ්‍යස්ථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙසින් ටෙනිස් තරගවලට සහභාගි විය හැකිය.  

මේ අතර ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් තරගයේදී ඉගා වෙතින් පරාජය වූ ඇමරිකානු ක්‍රීඩිකා කොකෝ ගවුෆ් කියා සිටියේ තම ප්‍රතිවාදිනිය යුක්රේනය වෙනුවෙන් කතා කිරීම ඉතාමත් වැදගත් බවයි. එක්සත් ජනපදයේ මෑතකදී පැවැති වෙඩි තැබීම් සම්බන්ධයෙන්ද විරෝධය පළකර සිටි කොකෝ ගවුෆ්, “මේ තුවක්කු ප්‍රචණ්ඩත්වය නැවැත්විය යුතුයි” යයි ද කීවාය. 

අවුරුදු දෙකකට ඉස්සරවෙලා මේ කුසලානය (ප්‍රංශ විවෘත ශූරතාව) දිනාගැනීම මට අදහාගන්නත් බැරිවුණා. ඒත් දැන් මට හිතෙන්නේ මම දීර්ඝ කාලයක් වෙහෙසීමෙන් පුහුණුවීම් කරලා මේ තැනට ආපු බවයි” යයිද ඉගා කීවාය. 

අවසන් මහ තරගය ජයගැනීමෙන් පසුව පෝලන්ත ජාතික ගීය වාදනය වෙද්දී, ඉගා ස්වියාටෙක් සිටියේ කඳුළු පිරි දෙනෙතිනි. 

- 213


අදහස් (0)

ස්වියාටෙක් ප්‍රංශ විවෘත ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.