
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 6 කින් පරාජය කළ පාකිස්තානුවෝ තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ. ලකුණු 129 ක පහසු ඉලක්කයක් කරා ගිය පාකිස්තානුවෝ පන්දු 20 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළහ.
ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන් නොව, කිසිදු ආයාසයකින් තොරවම පන්දුවට පහර දුන් පාකිස්තානුවෝ හතරේ පහර 12 කින් සහ දැවැන්ත හයේ පහර 3 කින් තම ඉනිම අලංකාර කළහ. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු යවන්නන් 6 දෙනකු යොදවා ගත් නමුත් පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කිරීම පහසු නොවීය.
ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගත් සයිම් අයුබ් සහ සහිබඩ්සා ෆර්හාන් දෙදෙනා, පළමු කඩුල්ල සඳහා පන්දු 35 කින් ලකුණු 59 ක් එකතු කළහ. ඕවර 10 කින් ලකුණු 90 ක් ලබාගත් පාකිස්තානු පිතිකරුවන් තරගය ඉක්මනින් ඉවර කිරීමට සූදානම් වූ නමුත් ලකුණු 12 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටිණ. එහෙත් එය පාකිස්තානුවන්ගේ ගමනට කිසිදු අවහිරයක් නොවූයේ ආරම්භක පිතිකරු ශහිබඩ්සා ෆර්හාන් පන්දු 36 කින් ලබාගත් ලකුණු 51 හේතුවෙනි.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 128 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර ජනිත් ලියනගේ ලබාගත් ලකුණු 40 හැරෙන්නට ශ්‍රී ලංකා පිලේ වෙනත් කිසිම ක්‍රීඩකයකුට ලකුණු 20 ක්වත් ලබාගත නොහැකි විය.
ටෙස්ට් නායක ධනංජය ද සිල්වා වසර එකහමාරකට පසුව ශ්‍රී ලංකා විස්සයි-20 පිලට එක්වී සිටියද පන්දු 10 කට මුහුණ දුන් ඔහු ලබාගත්තේ ලකුණු 10 කි.
ධනංජය ද සිල්වා නැවතත් කණ්ඩායමට කැඳවා ඇත්තේ පසුගිය තරග රැසකදීම ඉදිරිපෙළ සහ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙනි. පිතිකරු ලයිස්තුවේ අංක 4 ස්ථානයට පැමිණෙන ධනංජය, ඉහළ මට්ටමේ ටෙස්ට් පිතිකරුවකු වන බැවින් නිතරම තනි ලකුණු සහ ද්විත්ව ලකුණු සඳහා පැති මාරු කරගැනීමට හැකියාව ඇති ක්‍රීඩකයෙකි.
ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමෙන් අතිරේක දඟ පන්දු යවන්නකුගේ සේවය ද ශ්‍රී ලංකාවට හිමිවේ. උපායශීලි පිට දඟ පන්දු යවන්නකු වන ධනංජය ද සිල්වාට ඕනෑම අවස්ථාවකදී පන්දු ඕවර 4 ම සම්පූර්ණ කිරීමේ සමත්කම ඇති ක්‍රීඩකයෙකි. ධනංජය ට තිබෙන පන්දු යැවීමේ හැකියාව හේතුවෙන්, ඔහු 5 වැනි පන්දු යවන්නා වීම නිසා කණ්ඩායමට පිතිකරුවන් 7 දෙනකු (7-4 සංයුතිය) ඇතුළත් කිරීමේ පහසුව ශ්‍රී ලංකා පිලට ලැබිණ.
අද තරගයේදීත් සුපුරුදු පරිදි ඉදිරිපෙළ මෙන්ම මැදපෙළ පිතිකරුවෝත් අසාර්ථක වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පන්දු 116 න් පන්දු 48 ක්ම නිළකුණු පන්දු ලෙසින් සටහන් විය.


- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.