Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා සුහිරු ඇන්තනි
ආසියානු රග්බි

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා සුහිරු ඇන්තනි

editorial - 2024 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් 30 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගනු ලැබ තිබේ. ශ්‍රී ලංකා රග්බි සංචිතයේ නායකත්වය සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ ‘ලොක් ෆෝවර්ඞ්’ ක්‍රීඩක සුහිරු ඇන්තනීට හිමිව තිබේ. කණ්ඩායමේ උප නායකයා ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ ‘සෙන්ටර්’ ක්‍රීඩක තරින්ද රත්වත්තේ නම් කර ඇත. 

ශ්‍රී ලංකාව, කටාරය, ඉන්දියාව සහ කසකස්තානය යන රටවල සහභාගීත්වයෙන් මෙම මස 30 වැනිදා සහ මැයි මස 4 වැනිදා කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ අවසන් තේරීම් කටයුතු පෙරේදා (22 වැනිදා) කොළඹ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණ. තෝරාගන්නා ලද සංචිතය අද දිනයේදී (24 වැනිදා) ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය. 

සුදත් සම්පත් මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව මගින් අවසන් සංචිතය තෝරා ගනු ලැබූ අතර චම්පික නිෂාන්ත (ඇලෙක්ස්), රජීව් ගණපති සහ දුමින්ද සිල්වා යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් මාටිස් මෙන්ම ඉදිරිපෙළ පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ සහ පසුපෙළ පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහීම් යන මහත්වරුද තේරීම් කටයුතු සඳහා එක්ව සිටියහ. 

උක්ත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී පළමුවෙන්ම ක්‍රීඩකයන් 65 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් කැඳවීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබූ අතර පුහුණු සැසි කිහිපයකින් අනතුරුව ඉකුත් 17 වැනිදා එම සංචිතය ක්‍රීඩකයන් 39 දෙනෙක් දක්වා අඩු කිරීමට ඔවුන් කටයුතු කර තිබිණ.  
එම 39 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් අතරින් වින්ග් ක්‍රීඩකයන් වන දිනූප සෙනෙවිරත්නට සහ රන්දිත වර්ණපුරටද (හැව්ලොක්ස්), ප්‍රොප් ක්‍රීඩකයන් වන ෂෙහාන් සිල්වාට (හැව්ලොක්ස්) සහ අම්ජාඞ් ෆවුමිටද (පොලිසිය), නොම්බර 8 ක්‍රීඩකයන් වන ඔලිවර් බකල්ට (හැව්ලොක්ස්), විහඟ පිවිතුරුටද (පොලිසිය) අවසන් 30 දෙනාගේ සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ. 

ඔවුන්ට අමතරව පොලිස් ක්‍රීඩා සමාජයේ ලොක් ෆෝවර්ඞ් ක්‍රීඩක මොහාන් විමලරත්න, සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ ෆල්යි හාෆ් ක්‍රීඩක දිනේෂ් ද සිල්වා සහ නාවික හමුදාවේ ෆ්ලෑන්කර් ක්‍රීඩක ධනංජය සෙනෙවිරත්නද අවසන් සංචිතයට ඇතුළත් වී නොමැත. විශ්‍රාමික නාවික හමුදා නිලධාරී සනත් පිටිගල මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කරයි. 

මෙවර තරගාවලිය කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් පිළිමුළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන තරගාවලියක් බැවින් එහි මූලික වටයම, අවසන් පූර්ව වටයක ස්භාවයක් ගෙන තිබේ. තරගාවලියට සහභාගි වීම සඳහා කටාර් කණ්ඩායම මෙම මස 27 වැනිදාද, ඉන්දීය සහ කසකස්තාන කණ්ඩායම් මෙම මස 28 වැනිදාද දිවයිනට පැමිණීමට නියමිතය. 

මෙම මස 30 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව දෙකේදී කටාරයට එරෙහිව කසකස්ථානයත්, ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවත් තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගවලදී ජය ලබන කණ්ඩායම් දෙක මැයි මස 4 වැනිදා ශූරතාව වෙනුවෙන්ද, පරාජයට පත්වන කණ්ඩායම් දෙක එදිනම තෙවැනි ස්ථානය වෙනුවෙන්ද තරග වදිනු ඇත. 

 

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති ක්‍රීඩකයන් 30 දෙනාගේ සංචිතය 

■ ප්‍රොප් ක්‍රීඩකයෝ : ජනිඳු ප්‍රනාන්දු, ෆයිසාල් අබ්දුල්ලා (හැව්ලොක්ස්), චරිත් සිල්වා සහ දුෂ්මන්ත ප්‍රියදර්ෂන (සී.එච්.) සහ ස්ටෙෆාන් ග්‍රෙගරි (නාවික හමුදාව) 
■ හුකර් ක්‍රීඩකයෝ : පුලස්ති දසනායක (සී.එච්.), අස්මිර් ෆාජුඩීන් (හැව්ලොක්ස්) සහ වෙනුර කොදාගොඩ (සී.ආර්.) 
■ ලොක් ෆෝවර්ඞ් ක්‍රීඩකයෝ : සුහිරු ඇන්තනී (සී.ආර්.), නාලක මධුරංග (යුද හමුදාව) සහ ශෂික ප්‍රනාන්දු (ගුවන් හමුදාව) 
■ ෆ්ලෑන්කර් ක්‍රීඩකයෝ : අදීෂ වීරතුංග සහ රවීන් ද සිල්වා (සී.ආර්.), චතුරංග කුදීලගේ (මහනුවර) සහ ළහිරු තිලකරත්න (පොලිසිය) 
■ අංක 8 ක්‍රීඩකයෝ : ලසිඳු කරුණාරත්න (සී.ආර්.) සහ ජනිත් ලක්සර (සී.එච්.) 
■ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෝ : හේෂාන් ජැන්සන් (මහනුවර), කවිඳු ද කොස්තා (සී.ආර්.) සහ මොහොමඞ් රිෆාන් (හැව්ලෙක්ස්) 
■ ෆල්යි හාෆ් ක්‍රීඩකයෝ : තේනුක නානායක්කාර (සී.ආර්.) 
■ ඉන්සයිඞ් සෙන්ටර් ක්‍රීඩකයෝ : ආකාෂ් මධුෂංක (පොලිසිය) සහ මනිල්ක රුබේරු (සී.ආර්.) 
■ අවුට් සයිඞ් සෙන්ටර් ක්‍රීඩකයෝ : තරින්ද රත්වත්තේ (මහනුවර) සහ හිරන්ත පෙරේරා (පොලිසිය) 
■ වින්ග් ක්‍රීඩකයෝ : දිනාල් ඒකනායක (මහනුවර), සුදාරක දික්කුඹුර (යුද හමුදාව) සහ සචිත් සිල්වා (පොලිසිය) 
■ ෆුල් බැක් ක්‍රීඩකයෝ : සුබේර් දොරේ (සී.ආර්.) සහ හිරුෂ නෙත්මිණ (සී.එච්.) 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා සුහිරු ඇන්තනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.